තැපැල් ඡන්ද සලකුණු කිරීම ලබන 31; මේ දක්වා මැතිවරණ පැමිණිලි 1034ක් (වීඩියෝ)

ඔක් 20, 2019

    මෙවර ජනාධිපතිවරණය සඳහා තැපැල් ඡන්ද සලකුණු කිරීම ලබන 31 වැනිදා සහ නොවැම්බර් පළමු වැනිදා අදාළ ස්ථානයන්හිදී සිදුකරන බව, මැතිවරණ කොමිෂන් සභාව පවසයි.

    තැපැල් ඡන්ද සලකුණු කිරීම සඳහා අදාළ දිනයන්හිදී සේවා ස්ථානවල පහසුකම් සලසන ලෙස තේරීම්භාර නිලධාරීන් මගින් සියලුම සහතික කිරීමේ නිලධාරීන්ට දන්වා යවා ඇති බව, මැතිවරණ කොමිෂන් සභාව පවසයි. සියලු පොලිස් ස්ථානවල සහ සියලු දිස්ත්‍රික් ලේකම් කාර්යාලවල තැපැල් ඡන්දය සළකුණු කිරීම නොවැම්බර් 4 සහ 5 යන දිනවල සිදු කිරීමට නියමිතයි. එම දිනවලදී නොවැළැක්විය හැකි හේතූන් මත ඡන්දය සළකුණු කිරීමට නොහැකි වූ තැපැල් ඡන්ද දායකයෙකුට නොවැම්බර් 7 වැනිදා පෙරවරු 7.00 සිට පස්වරු 4.00 දක්වා ඡන්දය සළකුණු කළ හැකියි. ඊට අදාළ සහතික කිරීමේ නිලධාරියාගේ කාර්යාලය පිහිටි දිස්ත්‍රික්කයේ දිස්ත්‍රික් මැතිවරණ කාර්යාලයේ දී පහසුකම් සලසා ගත හැකියි. මැතිවරණ කොමිෂන් සභාවේ නිලධාරීන් සඳහා තැපැල් ඡන්ද සළකුණු කිරීම නොවැම්බර් 7 වැනිදාට යොදා තිබේ.

    තැපැල් ඡන්ද සලකුණු කරන අවස්ථා නිරීක්‍ෂණයට සහතික කිරීමේ නිලධාරි කාර්යාලයකට අපේක්‍ෂකයෙකු වෙනුවෙන් නියෝජිතයෙකු හා නිරික්‍ෂණ ආයතනයක් වෙනුවෙන් නිරික්‍ෂකයෙකු බැගින් පත් කළ හැකියි. මෙම කටයුතු නිරීක්‍ෂණයට ෆැෆ්රල් සංවිධානය හා මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා නිරීක්‍ෂණ මධ්‍යස්ථානයට අවසර ලබාදී තිබේ. තැපැල් ඡන්දය සළකුණු කිරීම්, තැපැල් ඡන්දය විමසන ස්ථාන හා පරිශ්‍ර ඡායාරූප ගත කිරීම, වීඩියෝ ගත කිරීම තහනම් බවයි, මැතිවරණ කොමිෂන් සභාව පවසන්නේ. යම් තැපැල් ඡන්ද සලකුණු කිරීමේ ස්ථානයක ඡන්දය දීමට බාධාවන හෝ බලපෑම් කිරීමට හෝ උත්සාහ කළහොත් එකී ස්ථානයේ ඡන්ද විමසීම අවලංගු කරන බව, මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පවසයි. මේ අතර දැනට ලැබී ඇති පැමිණිළි 1034න්, 992ක් මැතිවරණ නීති උල්ලංඝණය කිරීම් ලෙස වාර්තා වී ඇති බවයි, මැතිවරණ කොමිෂන් සභාව පෙන්වා දෙන්නේ.

    මැතිවරණ රැස්වීම් වේදිකා තුළ මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ විවිධ අපේක්‍ෂකයින් සම්බන්ධයෙන් වන අසත්‍ය සහ වෛරී සහගත ප්‍රකාශවල වර්ධනයක් දක්නට හැකි බවයි, කැෆේ සංවිධානයේ අධ්‍යක්‍ෂිකා සුරංගි ආරියරත්න මහත්මිය පැවසුවාය. ඇතැම් අපේක්‍ෂකයින් ප්‍රතිවාදී අපේක්‍ෂකයින් අපකීර්තියට පත් කිරීමේ සංවිධානාත්මක වැඩපිළිවෙළක් ලෙස සමාජ ජාලා යොදාගෙන ඇති බව, කැෆේ සංවිධානය පෙන්වා දෙනවා. ජනාධිපතිවරණය ප්‍රකාශයට පත් කළ දිනයේ සිට කැෆේ සංවිධානය වෙත පැමිණිලි 199ක් වාර්තා වී තිබේ.

    නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ආධාරකරුවන් දෙදෙනෙකුට ශ්‍රී ලංකා පොදුජන පෙරමුනේ ආධාරකරුවෙකු පහරදීම සම්බන්ධයෙන් පැමිණිල්ලක් ලැබී ඇතැයි, මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා නිරීක්‍ෂණ මධ්‍යස්ථානය පවසයි. අදාළ පුද්ගලයා ගිනි අවියක් පෙන්වා ඔවුන්ට තර්ජනය කර ඇති බවටයි වාර්තා වන්නේ. ප්‍රශස්ථ මැතිවරණයක් සහතික කිරීමට මැතිවරණ කොමිසම සහ පොලිසිය කටයුතු කරන අවස්ථාවක එය වඩාත් ඵලදායි කරගැනීමට දේශපාලන පක්‍ෂ නායකයින් මෙන්ම ප්‍රාදේශීය දේශපාලඥයින්ගේ උපරිම දායකත්වය ලැබිය යුතු බව එම මධ්‍යස්ථානය පවසයි.

    Last modified on ඉරිදා, 20 ඔක්තෝබර් 2019 19:53

    Latest News