“පිබිදෙමු පොළොන්නරුව” විවෘත කිරීම් රැසක් ජනපති අතින් (වීඩියෝ)

ඔක් 02, 2019

    “පිබිදෙමු පොළොන්නරුව” දිස්ත්‍රික් සංවර්ධන ව්‍යාපෘතිය යටතේ පොළොන්නරුවේ පාසල් කිහිපයක සිදු කෙරුණු සංවර්ධන කටයුතු සිසු අයිතියට පවරාදීම සහ විහාරස්ථාන කිහිපයක සංවර්ධන කටයුතු විවෘත කිරීම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා අතින් අද (02) සිදු කෙරිණි.

    “පිබිදෙමු පොළොන්නරුව” වැඩසටහන යටතේ පාසල් දරුවන්ට ගුණාත්මක අධ්‍යාපනයක් ලබාදීමේ අරමුණින් රුපියල් ලක්ෂ 55ක වියදමින් කුමුදුපුර ප්‍රාථමික විද්‍යාලයේ ඉදිකරන ලද පන්ති කාමර ගොඩනැඟිල්ල අද පෙරවරුවේ පළමුව ජනාධිපතිතුමා අතින් සිසු අයිතියට පැවරිණි. විද්‍යාලය වෙත ගිය ජනාධිපතිතුමා සිසු දරුවන් විසින් මහත් සෙනෙහසින් පිළිගත් අතර පන්ති කාමර ගොඩනැඟිල්ල සිසු අයිතියට පවරා දුන් ජනාධිපතිතුමා සිසු ක්‍රියාකාරකම් නිරික්ෂණය කිරීමට ද එක් විය.

    පාසල් දරුවන්ට පාසල් උපකරණ ලබාදීම, පුස්තකාල පොත් කට්ටල බෙදාදීම ඇතුළු වැඩසටහන් කිහිපයක් ද මෙහි දී සිදු කෙරුණ අතර ප්‍රදේශයේ මහජන නියෝජිතයන් පිරිසක් සහ විදුහල්පති කේ.ජී.ඩබ්ලිව්. අබේසුන්දර මහතා සහ ආචාර්ය මණ්ඩලය දෙමාපියන් ආදි සිසුන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ. මේ අතර ‘පිබිදෙමු පොළොන්නරුව’ දිස්ත්‍රික් සංවර්ධන ව්‍යාපෘතිය යටතේ රුපියල් ලක්ෂ 56ක වියදමින් හිඟුරක්ගොඩ, පහළ අඹගස්වැව ශ්‍රී රාහුල කනිෂ්ඨ විද්‍යාලයේ ඉදිකරන ලද පන්ති කාමර ගොඩනැඟිල්ල අද සිසු අයිතියට පැවරුණේ ද ජනාධිපතිතුමා අතිනි.

    “පිබිදෙමු පොළොන්නරුව” දිස්ත්‍රික් සංවර්ධන වැඩසටහන යටතේ ආගමික පුනර්ජීවය අරමුණු කර ගනිමින් රුපියල් ලක්ෂ 28ක වියදමින් මැදිරිගිරිය ශ්‍රී ජයබිම්බාරාම විහාරස්ථානයේ ඉදිකරන ලද නව දහම් පාසල් ගොඩනැඟිල්ල සිසු අයිතියට පවරාදීමේ අවස්ථාවට ඉන් අනතුරුව ජනාධිපතිතුමා එක් විය. අද දහවල් විහාරස්ථානය වෙත ගිය ජනාධිපතිතුමා පළමුව ආගමික වතාවත්වල නිරතව ආශිර්වාද ලබා ගත්තේය. මහා සංඝරත්නය විසින් මෙහි දී සෙත් පිරිත් සජ්ඣායනා කර ජනාධිපතිතුමා වෙත ආශිර්වාද පළ කළහ. අනතුරුව සමරු ඵලකය නිරාවරණය කර දහම් පාසල් ගොඩනැඟිල්ල සිසු අයිතියට පවරාදුන් ජනාධිපතිතුමා එහි නිරික්ෂණ චාරිකාවක ද නිරත විය.

    මැදිරිගිරියේ පදිංචි දිලාන් මධුසංඛ කුඩා දරුවාගේ ශල්‍යකර්මය සඳහා අවශ්‍ය වියදම් වෙනුවෙන් රුපියල් ලක්ෂ 05ක මුදල් පරිත්‍යාගයක් සිදු කිරීම ද මෙහිදී ජනාධිපතිතුමා අතින් සිදු කෙරිණි. මැදිරිගිරිය ශ්‍රී ජයබිම්බාරාම විහාරස්ථානයේ විහාරාධිපති පූජ්‍ය මෑතගම සෝමානන්ද නායක ස්වාමින් වහන්සේ ප්‍රමුඛ ප්‍රදේශයේ මහා සංඝරත්නය මෙම අවස්ථාවට වැඩම කර සිටී අතර උතුරු මැද පළාත් ආණ්ඩුකාර සරත් ඒකනායක මහතා ඇතුළු පිරිසක් එක්ව සිටියහ. 

    එමෙන්ම මැදිරිගිරිය ශ්‍රී විජයාරාම විහාරස්ථානයේ රුපියල් ලක්ෂ 35ක වියදමින් වැඩ නිම කරන ලද ධර්මශාලා ගොඩනැඟිල්ල විවෘත කිරීම ද අද ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරිණි. විහාරාධිපති පූජ්‍ය මහසෙන්ගම ධම්මරතන නායක ස්වාමින් වහන්සේ ප්‍රමුඛ මහා සංඝරත්නය එම අවස්ථාවට වැඩම කර සිටියහ. මැදිරිගිරිය නව නගරයේ සරස්වතීදේවී පිරිවෙනේ රුපියල් ලක්ෂ 74ක වියදමින් ඉදිකරුණු දාන ශාලාව සහිත භික්ෂු නේවාසිකාගාරය සඟ සතු කොට පූජා කිරීමේ අවස්ථාවට ද ඉන් අනතුරුව ජනාධිපතිතුමා එක් විය.

    නැගෙනහිර, තමන්කඩුව දෙපළාතේ ප්‍රධාන සංඝනායක පූජ්‍ය මිනුවන්ගමුවේ ගුණරතන හිමි, දියබෙදුම ඇලකිඹුලාවල ශ්‍රී සුචරිත වර්ධනාරාමාධිපති රාමඤ්ඤ මහා නිකායේ කාරක සංඝ සභික පූජ්‍ය එරුන්කඩේ විනයාලංකාර හිමි, විහාරාධිපති පූජ්‍ය දේවහුගේ විජයධම්ම හිමි ප්‍රමුඛ ප්‍රදේශයේ මහා සංඝරත්නය මෙහි දී සෙත් පිරිත් සජ්ඣායනා කර ජනාධිපතිතුමා වෙත ආශිර්වාද පළ කළහ.

    Last modified on බදාදා, 02 ඔක්තෝබර් 2019 19:45

    Latest News