විනිසුරු ගිහාන් කුලතුංග එපා කියූ පෙත්සම නිෂ්ප්‍රභයි

සැප් 27, 2019

    දිවිනැගුම මුල්‍ය අවභාවිතා නඩුව, විනිසුරු ගිහාන් කුලතුංග ඉදිරියේ විභාගයට විරෝධය පළ කර බැසිල් රාජපක්ෂ අභියාචනාධිකරණයේ ගොනු කළ පෙත්සම නිෂ්ප්‍රභ කෙරේ.

    නීතිපතිවරයා විසින් තමාට එරෙහිව ගොනුකර තිබෙන නඩුවක් කොළඹ මහාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග මහතා ගෙන් ඉවත් කර වෙනත් විනිසුරුවරයකු ඉදිරියේ විභාගයට ගන්නා ලෙස නියෝගයක් නිකුත් කරන මෙන් ඉල්ලා හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා විසින් ඉදිරිපත් කළ පෙත්සමක් නිෂ්ප්‍රභ කිරීමට අභියාචනාධිකරණය නියම කර තිබේ.

    ශිරාන් ගුණරත්න සහ මහින්ද සමයවර්ධනය යන අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල විසින් මෙම නියෝගය කරනු ලැබිණි.

    අදාල නඩුව මහාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග මහතා ඉදිරියේ විභාගයට ගැනීම තුලින් තමන්ට අගතියක් විය හැකි බවට බැසිල් රාජපක්ෂ මහතා විසින් ඉදිරිපත් කර තිබෙන තර්කය ප්‍රමාණවත් අයුරින් තහවුරු කිරීමට පෙත්සම්කාර පාර්ශවය අපොහොසත් වී ඇති හෙයින් පෙත්සම නිෂ්ප්‍රභ කරන බව විනිසුරුමඩුල්ල සඳහන් කර ඇත.

    පෙත්සම්කාර බැසිල් රාජපක්ෂ මහතා කියා සිටින්නේ පසුගිය ජනාධිපතිවරණය සමයේ දිවි නැගුම අරමුදලින් රුපියල් දෙකෝටි අනූහතර ලක්ෂයක මුදලක් වැයකර හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ රුව සහිත ලිත් ලක්ෂ පනහක් මුද්‍රණය කර බෙදා හැරීම තුළින් රජයේ මුදල් සාවද්‍ය ලෙස පරිහරණය කළ බවට චෝදනා කරමින් තමා ඇතුළු විත්තිකරුවන් කීප දෙනෙකුට එරෙහිව නීතිපතිවරයා කොළඹ මහාධිකරණය හමුවේ නඩුවක් පවරා ඇති බවයි.

    කොළඹ මහාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග මහතා ඉදිරියේ එම නඩුව විභාගයට ගැනීමට නියමිත බවයි බැසිල් රාජපක්ෂ මහතා පවසයි.

    සිල්රෙදි නඩු තීන්දුව ප්‍රකාශ කිරීමේදී ගිහාන් කුලතුංග විනිසුරුවරයා පසුගිය රජයේ ක්‍රියාකලාපය දැඩි දෝෂදර්ශනයට ලක්කර ඇති බව පෙන්වාදෙන බැසිල් රාජපක්ෂ මහතා තමා ද පසුගිය රජයේ ප්‍රබල අමාත්‍ය ධූරයක් දැරූ පුද්ගලයෙකු බැවින් එම විනිසුරුවරයා ඉදිරියේ පවත්වන නඩු විභාගයකින් තමන්ට යුක්තිය අපේක්ෂා කළ නොහැකි බවයි කියා සිටියි.

    එම නිසා මෙම නඩුව ගිහාන් කුලතුංග විනිසුරු වරයාගෙන් ඉවත්කොට වෙනත් විනිසුරු වරයෙකු ඉදිරියේ විභාගයට ගන්නා ලෙස නියෝග කරන මෙන් ද බැසිල් රාජපක්ෂ මහතා අභියාචනාධිකරණයෙන් ඉල්ලා තිබේ.

    Latest News