අජිත් පී ගෙන් UNP යට ලිඛිත ප්‍රකාශයක් (වීඩියෝ)

සැප් 09, 2019

    එක්සත් ජාතික පක්‍ෂය විසින් කැඳවා ඇති විනය පරීක්‍ෂණයට අදාළව අමාත්‍ය අජිත් පී පෙරේරා මහතා අද ලිඛිතව කරුණු ඉදිරිපත් කළේය.


    අද පෙරවරුවේ සිරිකොත පක්‍ෂ මූලස්ථානයට පැමිණි අමාත්‍යවරයා මෙම ලිඛිත කරුණු දැක්වීම සිදු කරනු ලැබුවේ එක්සත් ජාතික පක්‍ෂයේ පරිපාලන අධ්‍යක්‍ෂවරයා වෙතටය. පක්‍ෂයේ විනය නීති උල්ලංඝනය කිරීම සහ නායකත්වය විවේචනය කළ බවට එල්ලවී ඇති චෝදනා සම්බන්ධයෙන් ඔහු සිය ස්ථාවරය පැහැදිළි කර තිබේ. අදාළ කරුණු සම්බන්ධයෙන් අද දිනයේ දී හෝ අද දිනට පෙර කරුණු දක්වන ලෙස එක්සත් ජාතික පක්‍ෂ මහලේකම්වරයා අජිත් පී පෙරේරා සහ සුජීව සේනසිංහ යන කැබිනට් අමාත්‍යවරුන් දෙදෙනාට පසුගියදා දැනුම් දී තිබිණ.

    මාධ්‍යයට අදහස් දැක්වූ අජිත් පී පෙරේරා මහතා...

    “මම පක්‍ෂයේ මන්ත්‍රීවරයෙක් හැටියට, කෘත්‍යාධිකාරි මණ්ඩල සභිකයෙක් හැටියට ඇමතිවරයෙක් හැටියට තීරණය කරලා තියෙනවා සජිත් ප්‍රේමදාස මහත්තයාට සහය දෙන්න. ප්‍රේමදාස මහත්තයට සහය දීම විනය පරීක්‍ෂණයක් පැවැත්වීමට හේතුවක් වෙන්න බැහැ. එහෙම වගන්තියක් අපේ පක්‍ෂයෙත් නැහැ. අද ඇවිල්ලා උත්තරයක් දුන්නා. නීත්‍යානුකූලව උත්තරයක් දුන්නා. අදින් පස්සේ ඒ පිළිබඳව විධිමත් පරීක්‍ෂණ තියෙන්න ඕනේ. ඒ පිළිබඳව සාක්‍ෂි මෙහෙයවන්න ඕනේ. ඒ පිළිබඳව නීතිමය කරුණු ඉදිරිපත් වෙන්න ඕනේ. තවත් කාරණා තියෙනවා. ඒ නිසා බොහොම සතුටින් විනය පරීක්‍ෂණයට මුහුණ දෙනවා“ යැයි අජිත් පී පෙරේරා මහතා පැවසීය.

    Last modified on සදුදා, 09 සැප්තැම්බර් 2019 20:01

    Latest News