මහාචාර්ය කාලෝ ෆොන්සේකා දැයෙන් සමුගනී

සැප් 02, 2019

    වාමවාදී දේශපාලනයේ විද්වතෙකු වූ මහාචාර්ය කාලෝ ෆොන්සේකා මහතා අද (02) අභාවප්‍රාප්ත විය.

    ඒ වනවිට ඔහු 86 වන වියේ පසුවිය. කාලෝ ෆොන්සේකා මහතාගේ අවසන් කැමැත්ත අනුව ආගමික වත්වත්වලින් අනතුරුව දේහය රාගම වෛද්‍ය විද්‍යාලයට අද සවස භාර දුන්නේය. කාලෝ ෆොන්සේකා මහතා උපත ලැබූවේ 1933 මාර්තු 4 වන දිනයි. මීගමුව මාරිස්ටෙලා විද්‍යාලයෙන් අධ්‍යාපනය ලැබූ ඔහු ද්විතීය අධ්‍යාපනය ලැබුවේ, මරදාන ශාන්ත ජෝශප් විද්‍යාලයෙන්. කොළඹ විශ්වවිද්‍යාලයෙන් උසස් අධ්‍යාපනය ලැබූ ඒ මහතා පශ්චාත් උපාධිය ලබාගත්තේ, එංගලන්තයේ එඩිම්බරෝ විශ්වවිද්‍යාලයෙන්. තරුණ වයසේ සිටම කාලෝ ෆොන්සේකා මහතා වාමවාදී අදහස්වලින් තම මතවාදය සමාජයට ඉදිරිපත් කළේය.

    ඔහු ලංකා සමසමාජ පක්‍ෂයේ ජ්‍යෙෂ්ඨ සාමාජිකයෙකු මෙන්ම පක්‍ෂයේ මධ්‍යම කාරක සභාවේ සහ දේශපාලන මණ්ඩලය ද නියෝජනය කර තිබේ. වෛද්‍ය සිසුන් අතර ෆොන්සේකා මහතා ජනප්‍රිය වූයේ ඔහු සතු ආකර්ශනීය දේශන රටාව නිසාය. ෆොන්සේකා මහතා 2012 වසරේ සිට 2017 වසර දක්වා ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ සභාපතිවරයා ලෙස ද කටයුතු කළේය. කැළණිය විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨ යේ පීඨාධිපති ලෙස ද ෆොන්සේකා මහතා ක්‍රියා කර ඇත. කිසිදු අවස්ථාවක පෞද්ගලික වෛද්‍ය සේවයේ නොයෙදුණු විශිෂ්ට වෛද්‍යවරයෙක් ලෙස ඔහු හැඳින්විය හැකිය. දිවයිනේ විවිධ ප්‍රදේශවල ගමන් කරමින් නොමිලයේ වෛද්‍ය සායන පැවැත්වීම, වෛද්‍ය විද්‍යාව පෞද්ගලීකරණය කිරීමට එරෙහිවීම ඔහුගේ ජිවිතයේ කැපී පෙනෙන ලක්‍ෂණ අතර වේ.

    දුම්කොළ සහ මධ්‍යසාර පිටුදැකීම වෙනුවෙන් විශාල කාර්ය භාරයක් ඉටු කළ ෆොන්සේකා මහතා දුම්වැටි සහ මධ්‍යසාර පාලන ජාතික සභාවේ සභාපතිවරයා ලෙස ද ක්‍රියා කළේය. ඒ වෙනුවෙන් ඔහු ලෝක දුම්කොළ විරෝධී 2012 සම්මානයෙන් ද පිදුම් ලැබීය. මීට අමතරව ගීත රචකයෙකු, සංගීතඥයෙකු ලෙස ඒ මහතා ජනතාවගේ ආදරය දිනා ගැනීමට සමත්විය. රත්තරන් දුවේ, රුදුරු තුරු වඳුලේ යන ගීත ෆොන්සේකා මහතා අතින් නිමවුන ජයප්‍රිය ගී දෙකක්.

    ග්‍රන්ථ රැසක් ද එතුමා විසින් රචනා කර තිබේ. කාලෝ ෆොන්සේකා මහතා සිය නිවසේ දී අද අභාවප්‍රාප්ත විය. එතුමන්ගේ අවසන් කැමැත්ත පරිදි දේහය මාධ්‍යයට ආවරණය කිරීමට අවස්ථාව ලැබුණේ නැහැ. ලක්‍ෂ සංඛ්‍යාත දරුවන්ගේ අධ්‍යාපනය වෙනුවෙන් කැපවුණු මහාචාර්ය කාලෝ ෆොන්සේකා මහතා අභාවප්‍රාප්ත වීමෙන් පසුව ද තම දේහය තවත් දරුවන් පිරිසකගේ අධ්‍යාපනය වෙනුවෙන් පරිත්‍යාග කිරීමට තරම් නිහතමානීවීම එතුමන් තුළ දක්නට ලැබුණු විශිෂ්ටත්වයේ ලක්‍ෂණයකි.

    Last modified on සදුදා, 02 සැප්තැම්බර් 2019 19:38

    Latest News