හැටන් නිවාස 08ක් ගිනි බත්වේ

සැප් 02, 2019

    හැටන් දිඹුල පොලිස් වසමට අයත් රොසිටා වතුයායේ වතු නිවාස පේලියක අද (02) පස්වරුවේ හටගත් ගින්නකින් වතු නිවාස 8 ගිනිගෙන විනාශ වි තිබේ.

    අද (02) පස්වරු 5 පමණ එම වතු නිවාස පේලියේ එක් නිවසකින් හටගත් ගින්න සෙසු නිවාස වලට පැතිර ගොස් ඇත. ගින්නෙන් කිසිවෙකුටත් අනතුරක් සිදුවි නොමැති අතර ගින්නට හේතුවද මෙතෙක් අනාවරණය වි නොමැත.

    පැතිර යමින් තිබු ගින්න වතු කම්කරුවන් සහ දිඹුල පොලිසියේ නිලධාරින් සහ හැටන් දික්ඔය නගර සභාවේ ගිනි නිවන ඒකකයේ නිලධාරින් එක්ව මේ වන විට පාලනය කර ඇත. ගින්න පැතිර යාමත් සමග එම වතු නිවාස පේලියට ලබා දි තිබු විදුලි බලයද තාවකාලිකව විසන්ධි කර ඇත. ගින්නෙන් වතු නිවසක තිබු යතුරුපැදියක් හා සෙසු නිවාසවල පෞද්ගලික බඩු බාහිරාදිය විනාශවි ඇතැයි අප වාර්තාකරු පවසයි.

    ගින්නෙන් වතු නිවාස 8 කට අයත් සමාජිකයන් 20 දෙනෙකු පමණ අවතැන් වි ඇති අතර ඔහුන් වතුයායේ වෙනත් ආරක්ෂිත ස්ථානයක තාවකාලිකව නතර කිරිමට කටයුතු කර ඇත. ගින්න පිලිබදව දිඹුල පොලිසිය පරික්ෂණ පවත්වයි.

    Latest News