ඊශ්‍රායල් සිහින පෙන්වා මුදල් ගත් හිමිනම යළි රිමාන්ඩ්

අගෝ 26, 2019

    ඊශ්‍රායලයට යවන බව කියමින් පුද්ගලයන්ගෙන් මුදල් ලබා ගත් හිමිනමක් ලබන සැප්තැම්බර් මස 09 වැනිදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොටුව මහේස්ත්‍රාත් රංග දිසානායක මහතා අද නියෝග කළේය.

    මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගත කෙරුනේ කොම්පඤ්ඤවීදිය පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ බදුල්ල දිස්ත්‍රික් එක්සත් ජාතික පක්ෂ භික්ෂු බලමණ්ඩලයේ සභාපති ස්වාමීන් වහන්සේ නමක් වේ.

    ඊශ්‍රායලයට යවන බවට වඩු කාර්මිකයකුගෙන් රුපියල් ලක්ෂයක මුදලක් ලබා ගෙන, ක්‍රීඩා අමාත්‍යාංශයේදී, ලියාපදිංචියට අදාළ ලියවිලි පුරවමින් සිටියදී ස්වාමීන්වහන්සේ පොලිසිය විසින් අත්අඩංගුවට ගෙනතිබුණා. කොටුව පොලිසිය විසින්ද එවැනිම පැමිණිලි තුනක් ලැබී ඇති බැවින් සැකකරුට නඩු ගොනු කළ අතර එම නඩු සඳහාද ඇප ඉල්ලා සිටියද මහේස්ත්‍රාත් වරයා එම ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප කළේය.

    මෙම මුදල් ගංගාරාම සහ ලේක්හවුස් ශාඛාවේ ලංකා බැංකුවේ සැකකාර ස්වාමීන් වහන්සේගේ ගිණුම් වලට තැන්පත් කර ඇති බවට සිදු කළ විමර්ශන අනාවරණය කර ඇති බව පොලිසිය අධිකරණයට දන්වා සිටියේය.

    තවත් හතර දෙනෙකුගෙන් රුපියල් ලක්ෂය බැගින් ලක්ෂ හතරක මුදලක් සැකකාර ස්වාමීන් වහන්සේ ලබා ගෙන ඇති අතර ක්‍රීඩා අමාත්‍යාංශයේදී අමාත්‍ය වරයාගේ සම්බන්ධීකරණ ලේකම්වරයෙකු ඉදිරියේ මෙම ඉල්ලුම් පත්‍ර අත්සන් කළ බවටත් පැමිණිල්ල සදහන් කර ඇත.

    එහිදී ක්‍රීඩා අමාත්‍ය වරයාගේ සම්බන්ධීකරණ ලේකම් වරයාගේ ප්‍රකාශයක් ලබා ගත් බවත් අමාත්‍යාංශය විසින් නොමිලේ රැකියා සදහා යොමු කරන බවත් එම ලේකම් වරයා ලබා දී ඇති ප්‍රකාශයේ සදහන් වන බව පොලිසිය අධිකරණයට දන්වා සිටියේය. සැකකාර ස්වාමීන් වහන්සේ වෙනුවෙන් ඇප ඉල්ලීමක් සිදු කළද එම ඉල්ලීම ප්‍රතික්ෂේප කළ මහේස්ත්‍රාත් වරයා විමර්ශන පවත්වා ඉදිරි දින අධිකරණයට වාර්තා කරන්නැයි පොලිසියට නියෝග කළේය.

    Latest News