තේරීම් කාරක සභාවට ආණ්ඩුවෙන් 07ක්

නොවැ 21, 2018

    පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවට, ආණ්ඩු පක්‍ෂ සාමාජිකයන් අද නම් කෙරුණා.

    7 දෙනෙක් ඊට ඇතුළත්. දිනේෂ් ගුණවර්ධන, එස්.බී. දිසානායක, නිමල් සිරිපාල ද සිල්වා, මහින්ද සමරසිංහ, විමල් වීරවංශ, තිලංග සුමතිපාල, උදය ගම්මන්පිල යන මැති-ඇමතිවරුන් ඒ සඳහා නම් කෙරුණා.

    මේ අතර සභානායක අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා, කථානායකවරයා වෙත ලිපියක් යොමු කරමින් පවසා ඇත්තේ, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා, මහින්ද රාජපක්‍ෂ මැතිතුමා අග්‍රාමාත්‍යවරයා ලෙස පත් කරමින් පිහිටුවූ නව ආණ්ඩුවට, ප්‍රමාද වී හෝ තේරීම් කාරක සභාවක් පත්කිරීමට තීරණය කිරීම පිළිබඳ තම ස්තුතිය පිරිනමන බවයි.

    තේරීම් කාරක සභාවලට, ආණ්ඩු පක්‍ෂයේ බහුතරය, ඉතිහාසයේ පටන් හිමිව තිබෙනවා. ඒ අනුව යමින් මෙවර ද තේරීම් කාරක සභාවට සාමාජිකයන් පත්කිරීමේ දී බහුතර සාමාජික පිරිසක් පත්කර දෙනු ඇතැයි විශ්වාස කරන බව, එම ලිපියේ සඳහන්.

    එමෙන්ම තේරීම් කමිටුවේ සංඛ්‍යාව 12 දෙනෙකුට වඩා වැඩි කිරීමට බලාපොරොත්තු වන්නේ නම්, ඒ බව තමා වෙත දැනුම් දෙන ලෙස සභානායකවරයා කතානායකවරයාගෙන් ඉල්ලීමක් කරනවා. එවිට ආණ්ඩු පක්‍ෂය වෙනුවෙන් තේරීම් කාරක සභාවට අමතර මන්ත්‍රීවරුන්ගේ නම් යෝජනා කර එවීමට ද බලාපොරොත්තු වන බව සභා නායකවරයාගේ ලිපියේ සඳහන්.

    මේ අතර ජනතා විමුක්ති පෙරමුණ ද පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව සඳහා අද සාමාජිකයන් දෙදෙනෙකු නම් කර තිබෙනවා. විජිත හේරත් සහ නලින්ද ජයතිස්ස යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ඊට ඇතුළත්.

     

    ක්ෂණික කෙටි පණිවුඩ සේවාව සඳහා RuAlerts සමග එක්වන්න...Ru News Alert Super 00238

    Latest News