එකඟතා කඩකළහොත් ඇඹිලිපිටිය නගර සභාව කොමසාරිස් යටතට

අගෝ 21, 2019

    සබරගමුව පළාත් සභාව සහ ඇඹිලිපිටිය නගර සභාවේ සභිකයින් අතර අද ඇතිවූ එකඟතාව කඩ කළහොත් එම නගර සභාව කොමසාරිස්වරයාගේ පාලනයට යටත් කරන බව, පළාත් ආණ්ඩුකාර ධම්ම දිසානායක මහතා පවසයි.

    ඇඹිලිපිටිය නගර සභාවේ සභාපතිවරයා සහ එහි සභිකයින් කිහිප දෙනෙකු අතර, මතවාදී ගැටුම හේතුවෙන් සභාව පවත්වාගෙන යාමට නොහැකි තත්වයක් උදාවී ඇත. මෙම මතවාදී ගැටුම සම්බන්ධයෙන් පළාත් සභාවට ලැබී ඇති පැමිණිල්ල පිළිබඳව මේ වනවිට විමර්ශනයක් ද ආරම්භ කර තිබේ. එම විමර්ශන කටයුතු පැවැත්වීමේ දී සභිකයින් අතර උද්වේගකාරී තත්වයක් ඊයේ හටගත් බව ආණ්ඩුකාර ධම්ම දිසානායක මහතා කියා සිටී. පසුව පළාත් පාලන සහකාර කොමසාරිස්වරුන් සහ සභිකයින් අතර පැවති සාකච්ජාවකදී සියලු දෙනා එක්ව සභාව පවත්වාගෙන යාමට මුලික එකඟතාවක් පළ කර තිබේ.

    ඇඹිලිපිටිය නගරයේ පවුල් විසි දහසක් පමණ ජිවත්වන අතර, ඔවුන්ගේ සුබසිද්ධිය වෙනුවෙන් නගර සභාව නිසි පරිදි ක්‍රියාත්මක විය යුතු බව ආණ්ඩුකාරවරයා අවධාරණය කරයි. පසුගිය පළාත් පාලන ඡන්දයේ දී ඇඹිලිපිටිය නගර සභාවේ බලය ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ දිනාගනු ලැබීය. ඒ අනුව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභික ධූර 8ක් ද එක්සත් ජාතික පක්‍ෂයේ සභික ධූර 3ක් ද එක්සත් ජනතා නිදහස් සන්ධානය සහ ජනතා විමුක්ති පෙරමුණ එක් සභක ධූරය බැගින් හිමිකර ගෙන ඇත. මේ අනුව ඇඹිලිපිටිය නගර සභාවේ සභාපති ලෙස ලලිත් ගමගේ මහතා පත්ව සිටී. පොදුජන පෙරමුණේ සභිකයින් 8 දෙනාගෙන් සභිකයින් 4 දෙනෙකු සභාපති සමඟ සිටින අතර සෙසු සභිකයින් ඔහුට එරෙහිව ක්‍රියාත්මකව සිටිති. ඒ අනුව දැනට පවතින ගැටලුකාරී තත්වය මහජන සුභ සිද්ධියට අවහිරයක් නොවන අන්දමින් විසඳා නොගන්නේ නම් වහාම ක්‍රියාත්මක වන පරිදි එය පළාත් පාලන කොමසාරිස් වෙත පැවරීමට කටයුතු කරන බව ආණ්ඩුකාරවරයා කියා සිටී.

    Latest News