අස්වනු පුරෝකථනයකට කෘෂි ඇමති සැරසෙයි

නොවැ 21, 2018

    අස්වනු පුරෝකථන තොරතුරු පද්ධතියක් වහාව  සකස් කරන්නැයි, කෘෂිකර්ම අමාත්‍ය  මහින්ද අමරවීර මහතා කෘෂිකර්ම දෙපාර්තමේන්තුවට උපදෙස් දී තිබේ.

    අප රටේ වගා කෙරෙන පලතුරු එළවළු මෙන්ම ධාන්‍ය වර්ග වලින් වාර්ෂිකව ලබා ගත හැකි අස්වනු ප්‍රමාණය පිළිබඳව මෙතෙක් නිවැරදිව පුරෝකථනය කළ හැකි තොරතුරු පද්ධතියක් මෙතෙක් ස්ථාපිත කර නොමැත.

    මේ නිසා එක් එක් ප්‍රදේශවල ගොවීන්ගෙන් ඉදිරි දිනවල වෙළඳපලට පැමිණිය හැකි බෝග අස්වනු පිළිබඳව නිවැරදිව තොරතුරු ප්‍රකාශ නොවන හෙයින්, බොහෝ විට ගොවීන්ට තම අස්වනු අලෙවි කිරීමේ දී මෙන්ම, පාරිභෝගිකයින්හට ඒවා මිලදී ගැනීමේදී ද අතරමැදියන්ගෙන් සූරාකෑමට ලක්වීමට සිදුවේ.

    මෙම තතත්වය වළක්වාලීම සඳහා අස්වනු පුරෝකථන තොරතුරු පද්ධතියක් - Crop forcast information system ( Crop Look ) සකස් කරන ලෙස කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා කෘෂිකර්ම දෙපාර්තුමේන්තුවටඋපදෙස් දී ඇත.

    දැනට කෘෂිකර්ම දෙපාර්තමේන්තුව විසින් බෝග පුරෝකථන සැළැස්මක් ක්‍රියාත්මක කර තිබේ. එහෙත් එහි අඩුපාඩු  සහිත නිසා නිවැරදි සැළැස්මක් සැකසිය යුතු බව අමාත්‍යවරයා අවධාරණය කළේය.

    ගොවීන් විසින් වගාකරන එළවළු, පළතුරු හා ධාන්‍ය වල ලබාගත හැකි අස්වනු ප්‍රමාණය හා අස්වනු ලබා ගත හැකි කාලය හඳුනාගැනීම මඟින් එම බෝග ආනයනය වළක්වාලීමට පියවර ගත හැකිය. එමෙන්ම  එමඟින් දේශීය ගොවියාට තම නිෂ්පාදන සඳහා ඉහළ මිලක් ලබාදිය හැකි බවත් අමාත්‍යවරයා අවධාරණය කළේය.

    ඉවක් බවක් නැතිව ඇතැම් බෝග වර්ග ආනයනය කිරීමට ඉඩදීම නිසා දේශීය ගොවීන්හට තම අස්වනු අළෙවි කරගැනීමට නොහැකි වන අතරම , ඔවුන් වගාවෙන් ඉවත්වීමට ද එය බලපායි. වර්තමානයේ අල හා ලූනු ගොවීන්ට සිදුව ඇත්තේ එවැන්නක් බව ද ප්‍රකාශ කළ අමාත්‍යවරයා ඉතා ඉක්මනින් අස්වනු පුරෝකථන තොරතුරු පද්ධතියක් සකස් කරන්නැයි ද උපදෙස් දෙනු ලැබීය.

    Latest News