පුත්තලම ගොවීන්ට සුර්ය බලයෙන් විදුලිය (වීඩියෝ)

අගෝ 17, 2019

    ආහාර නිෂ්පාදන ජාතික වැඩසටහන, පුත්තලම දිස්ත්‍රික්කය තුළ සාර්ථකව ක්‍රියාත්මකවේ.

    ව්‍යාපෘති 28ක් ඒ යටතේ ක්‍රියාත්මකයි. මේ වසරට වෙන්කර ඇති මුදල රුපියල් මිලියන 66ක්. වගා බිම්වලට අවශ්‍ය ජලය සම්පාදනය කර ගැනීමට නොහැකිවීම, පුත්තලම දිස්ත්‍රික්කයේ ගොවීන්ට පවතින විශාල ගැටලුවක්. ඒ, විදුලි බලය ප්‍රමාණවත් නොමැතිවීම නිසයි. ඒ හේතුවෙන්, විශාල මුදලක් වැය කර විදුලි ජනන යන්ත්‍ර මගින් විදුලිය ලබාගැනීමට සිදුව තිබේ. එය, දිස්ත්‍රික්කය තුළ ගොවීන් වගාවෙන් ඉවත්වීමට ප්‍රධානතම හේතුවක්. ඊට විසඳුමක් ලෙසයි, විකල්ප බලශක්ති ක්‍රමවේද හඳුන්වාදීමට පුත්තලම් දිස්ත්‍රික් ලේකම් කාර්යාලය පියවර ගත්තේ. ඒ, ජනාධිපති ලේකම් කාර්යාලය හා එක්වයි.

    වැයවන මුදලෙන් 50%ක් ජනාධිපති ලේකම් කාර්යාලය මගින් ලබාදෙමින් ගොවීන්ට සූර්ය බලශක්තිය හඳුන්වා දෙනු ලැබුවේ, 2017 වසරේදී. සූර්ය බලශක්ති කට්ටලයකට වැයවන මුදල රුපියල් හාර ලක්‍ෂ හතලිස් දහසක්. මේ වනවිට පුත්තලම දිස්ත්‍රික්කය තුළ ලබාදී ඇති සූර්ය බලශක්ති කට්ටල සංඛ්‍යාව 200ක්. ඉන් අක්කර දහසක් පමණ වසර පුරාම වගා කිරීමට ගොවීන්ට හැකිවී තිබේ.

    මහඉලුප්පල්ලම ගොවි පර්යේෂණ ආයතනය හඳුන්වා දුන් දෙමුහුන් මිරිස් බීජ නිෂ්පාදනය ප්‍රචලිත කිරීමට පුත්තලම දිස්ත්‍රික්කයේ ප්‍රතිලාභීන් දස දෙනෙකුට බීජ නිෂ්පාදන ඒකක ලබාදී තිබේ. එම ඒකකයක් නිර්මාණයට වැයවන රුපියල් හාරලක්‍ෂ පනස් දහසක මුදලින් 75%ක් ජනාධිපති ලේකම් කාර්යාලයේ ආහාර නිෂ්පාදන ජාතික වැඩසටහනින් ලබාදේ. කෘෂිකර්ම දෙපාර්තමේන්තුවෙන් රුපියල් 60,000කට දෙමුහුන් මිරිස් බීජ කිලෝවක් මිලදී ගත හැක. එහෙත්, එම දෙපාර්තමේන්තුව සතුව ප්‍රමාණවත් බීජ සංචිතයක් නොමැති බව වාර්තාවේ. මේ නිසා ගොවීන්ට රුපියල් එක් ලක්‍ෂ හැට දහසක් පමණ මිලකට වෙළෙඳ පොළෙන් බීජ ලබා ගැනිමට සිදුවේ. දේශීය දෙමුහුන් මිරිස් බීජ ඉල්ලුම සපුරාලීමට එම බීජ පුත්තලම දිස්ත්‍රික්කයේ ව්‍යාප්ත කිරීම ද මෙහි ප්‍රධාන අරමුණක්. මෙමගින් වාර්ෂිකව, ගොවියෙකුට රුපියල් ලක්‍ෂ 8කට වැඩි ආදායමක් ලබාගත හැකියි.

    Last modified on සෙනසුරාදා, 17 අගෝස්තු 2019 20:06

    Latest News