අයහපත් කාලගුණයෙන් 12 දහසක අධික පිරිසකට පීඩා

අගෝ 17, 2019

    දිවයිනේ ප‍්‍රදේශ රැසකට පසුගිය සතියක පමණ කාලයක් පුරා පැවති තද වැසි සහ සුළං සහිත කාලගුණ තත්ත්වය හේතුවෙන් දිස්ත‍්‍රික්ක 18ක පවුල් 3110කට අයත් 12,343 දෙනෙක් පීඩාවට පත්ව ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.

    තද වැසි සමඟ ඇතිවූ ජල ගැලීම්, සුළං හේතුවෙන් සිදුවූ නිවාස හානි, නායයෑම් අවදානම්, පස්කඳු කඩාවැටීම්, අකුණු අනතුරු ආදිය හේතුවෙන් මෙම පිරිස පීඩාවට පත්ව ඇති අතර මෙම ආපදා තත්ත්වයෙන් මරණ දෙකක් සිදුවී 18 දෙනෙකු තුවාල ලබා ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ සහකාර අධ්‍යක්‍ෂ ප‍්‍රදීප් කොඩිප්පිලි මහතා පැවසීය.

    රත්නපුර දිස්ත‍්‍රික්කයේ අයගම ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පදිංචිකරුවකු අකුණු සැර වැදීමකින් මියගොස් ඇති අතර නුවරඑළිය ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පස්කන්දක් කඩා වැටීම හේතුවෙන් එයට යටවූ අයෙකු ද මියගොස් ඇතැයි ඔහු සඳහන් කළේය.

    මෙම තත්ත්වයෙන් වැඩිම බලපෑමක් එල්ල වී ඇත්තේ සබරගමු පළාතට වන අතර එහි කෑගල්ල සහ රත්නපුර දිස්ත‍්‍රික්කයන්හි පවුල් 1000කට අයත් 3,995 දෙනක් පීඩාවට පත්ව සිටිති.

    Latest News