කොළඹ ඇතුළු ප්‍රධාන නගර කිහිපයකට දුම්රිය සේවය පුළුල් කිරීමට පියවර

අගෝ 06, 2019

    මගී ජනතාවට වඩාත් සුවපහසු කාර්යක්‍ෂම සේවාවක් ලබාදීම සඳහා ප්‍රවාහන සේවා නවීකරණය කරන බව, විෂය භාර අමාත්‍ය අර්ජුන රණතුංග මහතා පවසයි.

    පෞද්ගලික අංශයේ සහය ද ඊට ලබාගැනීමට අපේක්‍ෂිතයි. අද පැවති මාධ්‍ය හමුවකදී මේ බව ප්‍රකාශ කෙරිණ. කොළඹ ඇතුළු ප්‍රධාන නගර කිහිපයක් ආශ්‍රිත දුම්රිය සේවා පුළුල් කිරීම මේ වනවිටත් ආරම්භ කර තිබේ. අදාළ ව්‍යාපෘති ක්‍රියාත්මක කෙරෙන්නේ ආසියානු සංවර්ධන බැංකු ආධාර මතයි. කොළඹ හා තදාසන්න ප්‍රදේශ වෙත දිවෙන දුම්රිය මාර්ග සංඛ්‍යාව වැඩි කිරීම මෙහි එක් අදියරක්. විදුලි දුම්රිය සේවා හඳුන්වාදීමට නියමිතයි. දැනට මගීන් හැට ලක්‍ෂයක් මෙහෙය විය හැකි කටුනායක ගුවන් තොටුපොළ, මගීන් තවත් තිස් ලක්‍ෂයකින් ඉහළ නැංවිය හැකි පරිදි නව පර්යන්තයක් සැකසීමට ද තීරණය කර තිබේ. පලාලි ගුවන් තොටුපොළේ සංවර්ධන කටයුතු ද ක්‍රියාත්මකයි. මඩකලපුව, රත්මලාන සහ සෙසු ප්‍රාදේශීය ගුවන් තොටුපොළ සංවර්ධනයට ද රජය අවධානය යොමුකර තිබේ.

    මගී ප්‍රවාහනය සඳහාම නිෂ්පාදිත බස් රථ පොදු ප්‍රවාහනයට එක් කිරීම අමාත්‍යාංශයේ තවත් අරමුණක්. නවීන තාක්‍ෂණයෙන් යුත් බස් රථ 9ක් මේ වනවිටත්, මගී ප්‍රවාහනයට එක්කර තිබේ. ඉදිරි මාස කිහිපයේ තවත් බස් රථ 35ක් ධාවනයට එක් කිරීමට නියමිතයි. අද පැවති මාධ්‍ය හමුවේදී අමාත්‍ය අර්ජුන රණතුංග මහතා කියා සිටියේ, ප්‍රවාහන ක්‍ෂේත්‍රය නියමිත කාලයට සංවර්ධනය නොකිරීමෙන් ගැටලු රැසක් පැන නැගී ඇති බවයි.

    එහිදී අදහස් දැක්වූ අමාත්‍ය අර්ජුන රණතුංග මහතා...

    “මම දකින දෙයක් තමයි දුම්රිය බස්රථ වගේ දේවල් අවුරුද්දෙන් අවුරුද්ද දියුණු කරනවා මිස අවුරුදු හතර, පහක් එක තැනක ඉඳලා කරන්න හොඳ නැහැ. දැන් අපට හිර වෙලා තියෙන්නේ අපි දැන් බස් දෙදහක් ගේන්න ඕනේ මේවා හරියට හදන්න. දුම්රිය වුණත් අවුරුදු තුන හතරක් යනකොට මේ තත්වය දියුණු කරනවානම් මේ වගේ ප්‍රශ්නවලට මුහුණ දෙන්න වෙන්නේ නැහැ. ඒකට රජයට මුදල් නැහැ. ඒ හින්දා තමයි අපිට වෙලා තියෙන්නේ වෙන තැන්වලින් තමයි ආයෝජකයොත් එක්ක තමයි සාකච්ජා කරගෙන හුඟක් දේවල් අපිට කරගන්න වෙලා තියෙන්නේ“ යැයි අමාත්‍ය අර්ජුන රණතුංග මහතා පැවසීය.

    Latest News