ඉතිහාසයේ වැඩිම හෙරොයින් අත්අඩංගුවට ; පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය (වීඩියෝ)

අගෝ 03, 2019

    මෙරට ඉතිහාසයේ වැඩිම හෙරොයින් මත්ද්‍රව්‍ය තොගය අත්අඩංගුවට ගැනීමට ගෙවී ගිය මාස 7 තුළ හැකිවූ බව පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය පවසයි.

    එම ප්‍රමාණය කිලෝ 1200කට අධිකයි. අඛණ්ඩව ක්‍රියාත්මක මත්ද්‍රව්‍ය ජාවාරම් මැඩලීමේ සාර්ථක මෙහෙයුම් ඊට හේතුවී තිබේ. මෙරට මත්ද්‍රව්‍ය භාවිතය පිළිබඳ ඉතිහාසයේ මුල් යුගය තුළ, වයස අවුරුදු 50 ඉක්මවූ සුළු පිරිසක් අබින් හා කංසා වැනි මත්ද්‍රව්‍ය භාවිතයට යොමු වී සිටි. එහෙත් තරුණ පරපුර මත්ද්‍රව්‍ය භාවිතයට යොමුවී නොසිටීම විශේෂත්වයක්. 80 දශකයෙන් පසු ලොව ප්‍රචලිත මත්ද්‍රව්‍ය වර්ග මෙරටට පැමිණිමත් සමඟ, තරුණ පරපුර ශීඝ්‍රයෙන් ඊට ඇබ්බැහි විය. 90 දශකය වනවිට මත්ද්‍රව්‍ය ජාවාරම මෙන්ම, මත්ද්‍රව්‍ය භාවිතය ජාතික ප්‍රශ්නයක් බව පත්ව තිබේ. මුහුදු මගින් මෙන්ම, ගුවන් සහ තැපැල් මාර්ගයෙන් ද මත්ද්‍රව්‍ය රට ගෙන එන බව, පොලිසිය පවසයි. මත්ද්‍රව්‍ය ජාවාරම මැඩලීම සඳහා ජනාධිපතිතුමාගේ ද උපදෙස් පරිදි ආරක්‍ෂක අංශ වැඩසටහන් රැසක් ක්‍රියාත්මක කර තිබේ.

    ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ සංකල්පයක් අනුව ක්‍රියාත්මක මතින් නිදහස් රටක් ගොඩනැගීමේ වැඩසටහන ද ඊට මනා ශක්තියක් වී තිබේ. එහි සාර්ථක ප්‍රතිඵල මේ වනවිටත් ක්‍රමයෙන් හිමිවෙමින් පවතී. මේ වසරේ ජනවාරි සිට අගෝස්තු 02 දක්වා කළ වැටලීම්වලින්, හෙරෙයින් කිලෝ 1,219යි ග්‍රෑම් 983ක් සමඟ සැකකරුවන් 25,359 දෙනෙකු අත්අඩංගුවට ගැණින. ඊට අමතරව ගංජා කිලේ 4378යි, ග්‍රෑම් 913ක් සමඟ අත්අඩංගුවට ගත් සැකකරුවන් සංඛ්‍යාව 24,447ක්. කොකේන් සම්බන්ධයෙන් සැකකරුවන් 54 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර, සොයාගත් මත්ද්‍රව්‍ය ප්‍රමාණය කිලෝ 19යි ග්‍රෑම් 577ක්. හෂීස් කිලෝ 11යි, ග්‍රෑම් 461ක් සමඟ සැකකරුවන් 73 දෙනෙකු ද අත්අඩංගුවට ගැනීමට ද ආරක්‍ෂක අංශ සමත්වූහ.

    ආරක්‍ෂක අංශ සිදුකරන සංවිධානාත්මක හා ඒකාබද්ධ වැටලීම් හේතුවෙන්, මත්ද්‍රව්‍ය සැපයුම අඩාල කිරීමට හා ජාවාරම්කරුවන් රැසක් අත්අඩංගුවට ගැනීමට හැකිවූ බව පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නියෝජ්‍ය පොලිස්පති තිලක් ධනපාල මහතා පවසයි. මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට මරණීය දණ්ඩනය ලබාදීම වැනි තීරණ ගැනීමට සිදුව ඇත්තේ, මේ ව්‍යසනයෙන් රටත් ජනතාවටත් අනාගත පරපුරත් රැකගැනීම උදෙසායි.

    Last modified on සෙනසුරාදා, 03 අගෝස්තු 2019 20:26

    Latest News