ඇවන්ගාඩ් සමාගමේ අධිපතිට හා විශ්‍රාමික හමුදා මේජර් ජෙනරාල් පාලිත ප්‍රනාන්දුට වරෙන්තු

අගෝ 02, 2019

    ඇවන්ගාඩ් සමාගමේ අධිපති නිශ්ශංක සේනාධිපති හා විශ්‍රාමික හමුදා මේජර් ජෙනරාල් පාලිත ප්‍රනාන්දු අත්අඩංගුවට ගන්නැයි කොළඹ මහාධිකරණයෙන් වරෙන්තු නිකුත් කරයි.

    රුපියල් ලක්ෂ 355 ක අල්ලසක් දීම සහ ලබා ගැනීම සම්බන්ධයෙන් චෝදනා ලැබ ඇප මත මුදාහැර සිටින ඇවන්ගාඩ් සමාගමේ සභාපති නිශ්ශංක යාපා සේනාධිපති සහ රක්නා ලංකා ආරක්ෂක සමාගමේ හිටපු සභාපති විශ්‍රාමික යුධ හමුදා මේජර් ජෙනරාල් පාලිත ප්‍රනාන්දු යන මහත්වරුන් අත්අඩංගුවට ගෙන අධිකරණය හමුවට ඉදිරිපත් කරන්නැයි දන්වා කොළඹ මහාධිකරණය වරෙන්තු නිකුත් කර තිබේ.

    මෙම නඩුව අද (02) කොළඹ මහාධිකරණ විනිසුරු ශෂී මහේන්ද්‍රන් මහතා ඉදිරියේ කැඳවනු ලැබූ අවස්ථාවේ දී මෙම විත්තිකරුවන් දෙදෙනා අධිකරණයේ පෙනී සිටියේ නැහැ.

    විත්තිකාර නිශ්ශංක යාපා සේනාධිපති මහතා අසනීප තත්ත්වය සිංගප්පූරුවේ රෝහල්ගතව ප්‍රතිකාර ලබන බව ඔහුගේ නීතිඥවරු අධිකරණයට දන්වා සිටියා.

    විත්තිකාර පාලිත ප්‍රනාන්දු මහතා ද වෙනත් නඩුවක් සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගතව සිටින බවයි ඔහුගේ නීතිඥවරුන් අධිකරණයට දන්වා ඇත්තේ.

    ඒ අනුව විත්තිකරුවන් දෙදෙනා අධිකරණයේ පෙනී නොසිටීම හේතුවෙන් ඔවුන් අත්අඩංගුවට ඉදිරිපත් කරන්නැයි දන්වා වරෙන්තු නිකුත් කළ මහාධිකරණ විනිසුරුවරයා ඔවුන්ගේ ඇපකරුවන්ට ලබන 07 වැනි දින අධිකරණය හමුවේ පෙනී සිටින්නැයි දන්වා නොතීසි ද නිකුත් කර තිබේ.

    ගාලු වරායේ පාවෙන අවි ගබඩාවක් පවත්වාගෙන යාමට අවශ්‍ය කටයුතු ඉටුකර දීම සඳහා රුපියල් ලක්ෂ 355 ක අල්ලසක් රක්නා ලංකා ආරක්ෂක සමාගමේ හිටපු සභාපති විශ්‍රාමික යුධ හමුදා මේජර් ජෙනරාල් පාලිත ප්‍රනාන්දු මහතාට ලබාදීම සම්බන්ධයෙන් අල්ලස් කොමිසම විසින් මෙම නඩුවෙන් ඇවන්ගාඩ් සමාගමේ අධිපති නිශ්ශංක යාපා සේනාධිපති මහතාට එරෙහිව චෝදනා එල්ල කර තිබේ.

    එම රුපියල් ලක්ෂ 355 ක මුදල අල්ලස් වශයෙන් ලබා ගැනීම සම්බන්ධයෙන් විශ්‍රාමික යුධ හමුදා මේජර් ජෙනරාල් පාලිත ප්‍රනාන්දු මහතාට තවත් චෝදනාවක් එල්ල කර ඇත.

     

    Latest News