දැයේ දරුවන්ට ලෝකය දිනාදීමේ වගකීම ඉටුකිරීමට සුවිශේෂි වැඩකොටසක් කළා; ජනපති

අගෝ 01, 2019

    වතුකරයේ දරුවන්ට ද ඉහළ අධ්‍යාපනයක් ලබා දී හොඳ රැකියා අවස්ථා සඳහා යොමුවීමේ මාවත විවෘත කරදිය යුතු බව ජනාධිපතිතුමා පවසයි.

    ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා මේ බව ප්‍රකාශ කළේ හපුතලේ තොටලාගල දෙමළ පාසලේ නව දෙමහල් පංතිකාමර ගොඩනැගිල්ල සිසු අයිතියට පවරාදීමේ අවස්ථාවට අද (01) දහවල් එක් වෙමිනි. දිවයිනේ සියලු පළාත්වල පාසල්වලට අවශ්‍ය පහසුකම් ලබාදීමට රජය කටයුතු කරන්නේ රටේ සියලු දරුවන්ට සම අධ්‍යාපන අයිතින් ලබාදීමට බව මෙහිදී පැවසූ ජනාධිපතිතුමා දැයේ සියලු දරුවන්ට ලෝකය දිනාදීමේ වගකීම ඉටුකිරීම වෙනුවෙන් ඉකුත් සිවු වසර තුළ සුවිශේෂි වැඩකොටසක් ඉටුකර තිබෙන බව ද කියා සිටියේය. 

    රුපියල් මිලියන 09ක ප්‍රතිපාදන මත සියලු පහසුකම් සහිතව මෙම පංතිකාමර ගොඩනැගිල්ල ඉදිකර තිබේ. විද්‍යාලය වෙත ගිය ජනාධිපතිතුමා හින්දු චාරිත්‍රානුකූලව පිළිගැනුණු අතර, සමරු ඵලකය නිරාවරණය කර පංතිකාමර ගොඩනැගිල්ල සිසු අයිතියට පැවරූ ජනාධිපතිතුමා එහි නිරික්‍ෂණ චාරිකාවක ද නිරත විය. ජනාධිපතිතුමාගේ පැමිණීම සනිටුහන් කරමින් විද්‍යාල පරිශ්‍රයේ පැළයක් ද රෝපණය කෙරිණි. වතුකරයේ උපාධිධාරි ගුරු ගැටලුව කෙරෙහි ද මෙහි දී ජනාධිපතිතුමාගේ අවධානය යොමු කෙරුණු අතර, ජනාධිපතිතුමා කියා සිටියේ අධ්‍යාපන අමාත්‍යාංශය සහ පළාත් සභාව සමග සාකච්ඡා කර ඒ සඳහා විසඳුමක් ලබාදීමට අවශ්‍ය මැදිහත්වීම සිදුකරන බවයි.

    ආණ්ඩුකාර රජිත කීර්ති තෙන්නකෝන් මහතා සහ නිමල් සිරිපාල ද සිල්වා, සෙන්දිල් තොණ්ඩමන්, අනුර විදානගමගේ යන මහත්වරුන් ඇතුළු පළාතේ දේශපාලන නියෝජිතයෝ රැසක් ද, විදුහල්පති මුත්තයියා සුන්දරරාජ් මහතා ඇතුළු ආචාර්ය මණ්ඩලය දෙමාපියන් ආදි සිසුන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

     

    Latest News