ඇමති අර්ජුනගේ ගමට අගයක් මගී ජන මිතුරු සේවාව

ජූලි 28, 2019

    ගමට අගයක් මගී ජන මිතුරු සේවාව සහ ප්‍ර‍දර්ශනයේදී ප්‍ර‍වාහන සහ සිවිල් ගුවන්සේවා අමාත්‍ය අර්ජුන රණතුංග මහතාගේ ප්‍ර‍ධානත්වයෙන් පැවැත්විණ.

    ජනමිතුරු සේවාව සහ ප්‍ර‍දර්ශනය ආරම්භ කරමින් අමල් පියතිලක නිර්මාණය කළ නව නිපැයුම් වීල් මාස්ටර් නව රථය හෙවත් වැඩිදියුණු කළ අත් ට්‍රැක්ටරයද ජනගත කෙරිණ.1952 දී මෙරටට ගනේවූ බ්‍රිටිෂ් ලේලන්ඩ් වර්ගයේ තට්ටු දෙකේ බස්රථයක් පුනරුත්ථාපනය කර මගී ප්‍ර‍වාහනයට එක් කර තිබේ. එම සේවාව සහ ප්‍ර‍දර්ශනය නිට්ටඹුව සංඝබෝධි මධ්‍ය මහා විද්‍යාලයේදී පැවැත්විණ.

    ministerarjuna1 px 900 19 0

    ගමට අගයක් මගී ජන මිතුරු සේවාව සහ ප්‍ර‍දර්ශනය ප්‍ර‍වාහන සහ සිවිල් ගුවන්සේවා අමාත්‍යාංශයේ ඉදිරිපත් කිරීමකි. ප්‍ර‍වාහන අමාත්‍යාංශයට අයත් ශ්‍රී ලංකා දුම්රිය සේවය, ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලය, මෝටර්රථ ප්‍ර‍වාහන දෙපාර්තමේන්තුව, සිවිල් ගුවන්සේවා අධිකාරිය, ගුවන්තොටුපල හා ගුවන්සේවා සමාගම, ජාතික ප්‍ර‍වාහන වෛද්‍ය ආයතනය, මාර්ග ආරක්ෂාව පිළිබදව ජාතික සභාව, ජාතික ගමනාගමන කොමිෂන් සභාව සහ ලක්දිව ඉංජිනේරු සමාගම එයට එක්ව සිටියේය. මගී ජන මිතුරු සේවාව සහ ප්‍ර‍දර්ශනය ආරම්භ කරමින් අමාත්‍ය අර්ජුන රණතුංග මහතා පැවසුවේ මහජනතාව රාජ්‍ය ආයතනවලට නොව රාජ්‍ය ආයතන මහජනතාවට ගෙන යාමේ යුගයක් ඇති කළ යුතු බවයි.

    “ප්‍ර‍වාහන අමාත්‍යාංශය කියන්නේ මහජනතාවට සමීපතම අමාත්‍යාංශය. නමුත් අපි අපේ සේවාව තවත් ඉදිරියට ගෙනි යන්න ඕන. විශේෂයෙන්ම තවමත් පාසැල් වෑන්රථ හා ත්‍රීවිල් රථ නියාමනය වෙන්නේ නැහැ. මගියෙක් දුම්රියපලට ගියාම අවශ්‍ය පහසුකම් නැහැ. තවමත් අපි යන්නේ ලොරි චැසිවල ගැසූ බස්වල. මේ නිසා ප්‍ර‍වාහනයේ විශාල පෙරළියක් අපි කළ යුතු වනවා. එයට අවශ්‍ය පසුබිම දැන් අපි සකසමින් යනබවත් මේ අවස්ථාවේදී මම ප්‍ර‍කාශ කරනවා....”යැයි අමාත්‍යවරයා ප්‍ර‍කාශ කළේය.

    අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍ර‍කාශ කළේ අද ආරම්භ කළමගී ජන මිතුරු සේවය ඉදිරියේදී සෙසු දිස්ත්‍රික්කවලටත් ව්‍යාප්ත කරන බවයි.

    ගමට අගයක් මගී ජන මිතුරු සේවාව සහ ප්‍ර‍දර්ශනයෙන් සේවාව ලබා ගත් පිරිස දස දහස ඉක්මවූවකි. ප්‍ර‍වාහන සම්බන්ධයෙන් මහජන ගැටළු විමසීම, ඇස් කණ්ණාඩි ප්‍ර‍දානය, නව බස්රථ ප්‍ර‍දර්ශනය, විදී නාට්‍ය ප්‍ර‍දර්ශනය, දහම්පාසල් සිසුන් සදහා විශේෂ සම්මන්ත්‍ර‍ණ, රියදුරු බලපත්‍ර‍ සදහා වෛද්‍ය සහතික නිකුත් කිරීම ඇතුළුව විවිධාංග රැසක් මෙම ජනමිතුරු සේවාවට එක්ව තිබිණ.

    Latest News