විහාරස්ථාන කිහිපයක සංවර්ධන කටයුතු විවෘත කිරීම ජනාධිපති අතින්

ජූලි 28, 2019

    පිබිදෙමු පොළොන්නරුව, දිස්ත්‍රික් සංවර්ධන වැඩසටහන යටතේ පොළොන්නරුව දිස්ත්‍රික්කයේ විහාරස්ථාන කිහිපයක සිදුකෙරුණු සංවර්ධන කටයුතු විවෘත කිරීම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අතින් අද (28) සිදු විය.

    පොළොන්නරුව පලූගස්දමන විද්‍යාසාර පිරිවෙනේ ඉදිකරන ලද අභිනව ධර්මශාලාව සහිත දෙමහල් සංඝාවාසය සඝ සතුකොට පුජා කිරිම අද පෙරවරුවේ පළමුව ජනාධිපතිවරයා අතින් සිදු කෙරිණි.

    භික්ෂු අධ්‍යාපනය ඉහළ නැංවීමේ අරමුණින් රුපියල් ලක්ෂ 138ක් වැය කරමින් මෙම ධර්මශාලාව සහිත දෙමහල් ගොඩනැගිල්ල ඉදිකර තිබේ. විහාරස්ථානය වෙත ගිය ජනාධිපතිවරයා ආගමික වතාවත්වල නිරතව ආශිර්වාද ලබා ගත් අතර ඉන් අනතුරුව සමරු ඵලකය නිරාවණය කර අභිනව ධර්මශාලාව සහිත දෙමහල් සංඝාවාසය විවෘත කරනු ලැබීය.

    මෙම අවස්ථාව සනිටුහන් කරමින් පැළයක් රෝපණය කිරීම ද ජනාධිපතිවරයා අතින් සිදු කෙරිණි.

    පලූගස්දමන විද්‍යාසාර පරිවෙනාධිපති පූජ්‍ය බෝලෑනේ සෝමානන්ද නායක ස්වාමින් වහන්සේ ප්‍රමුඛ පළාතේ මහා සංඝරත්නය ද උතුරුමැද පළාත් ආණ්ඩුකාර සරත් ඒකනායක, වයඹ පළාත් ආණ්ඩුකාර පේෂල ජයරත්න, පොළොන්නරුව නගරාධිපති චානක සිදත් රණසිංහ, ප්‍රාදේශීය සභා මන්ත්‍රී අයි.ඒ. විමලසිරි, දිස්ත්‍රීක් ලේකම් පණ්ඩුක අබේවර්ධන යන මහත්වරුන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

    මේ අතර තමන්කඩුව ශ්‍රී පූර්වාරාම වෙහෙරගොඩැල්ල විහාරස්ථානයේ ඉදිකරන ලද දෙමහල් සංඝාවාස ගොඩනැඟිල්ල සඝ සතු කොට පූජා කිරීමේ පුණ්‍යෝත්සව ද අද පැවැත්වුණේ ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙනි.

    පොළොන්නරුව ඉසිපතනාරාමාධිපති උතුරු, උතුරු මැද, නැගෙනහිර යන පළාත්හි ප්‍රධාන සංඝනායක පූජ්‍ය උඩගම ධම්මානන්ද නායක ස්වාමින් වහන්සේගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම පුණ්‍යෝත්සවයේ දී විහාරාධිපති පූජ්‍ය නිශ්ශංකමල්ලපුර ජිනානන්ද ස්වාමින් වහන්සේ විසින් ජනාධිපතිවරයා වෙත සමරු තිළිණයක් ද පිළිගැන්වීය.

    ලංකාපුර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පුලස්තිගම ශාඛ්‍ය බිම්බාරාම විහාරස්ථානයේ ඉදිකෙරුණු නව දාන ශාලාව සඝ සතු කොට පූජා කිරිමේ පුණ්‍යෝත්සවයට ඉන් අනතුරුව ජනාධිපතිවරයා එක් විය.

    විහාරස්ථානය වෙත පැමිණි ජනාධිපතිවරයා වෙත විහාරාධිපති පූජ්‍ය යටිහලගල උපතිස්ස නායක ස්වාමින් වහන්සේ ප්‍රමුඛ මහා සංඝරත්නය සෙත් පිරිත් සජ්ජායනා කර ආශිර්වාද පළ කළහ.

    එමෙන්ම සේවාගම ගෞතම බෝධිරුක්ඛාරාමයේ ඉදිකරන ලද නව දාන ශාලා ගොඩනැගිල්ල ද සඝ සතු කොට පූජා කෙරුණේ ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙනි.

    උතුරුමැද පළාතේ ප්‍රධාන අධිකරණ සංඝනායක ශාස්ත්‍රවේදී පූජ්‍ය ගල්ලෑල්ලේ අරියවංශ නායක ස්වාමින් වහන්සේ ප්‍රමුඛ මහා සංඝරත්නය ද ආණ්ඩුකාර පේෂල ජයරත්න, තමන්කඩුව ප්‍රාදේශිය සභා මන්ත්‍රී ජයන්ත බණ්ඩාර යන මහත්වරුන් ඇතුළු සැදැහැවතුන් විශාල පිරිසක් එම අවස්ථාවට එක්ව සිටියහ.

    Latest News