ඇවන්ගාර්ඩ් නඩුවෙන් ගෝඨාභය නිදහස් කිරිමේ ඉල්ලීම් තින්දුව කල් යයි

ජූලි 26, 2019

    මහේස්ත්‍රාත් අධිකරණයේ ඇති ඇවන්ගාර්ඞ් පාවෙන අවි නඩුවේ චෝදනාවලින් නිදහස් කිරීමේ නියෝගයක් ඉල්ලා හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරිපත් කළ ප්‍රතිශෝධන පෙත්සමේ තීන්දුව ප්‍රකාශ කිරීම අභියාචනාධිකරණය විසින් අගෝස්තු 30 වනදා තෙක් කල් තැබේ.

    ඇවන්ගාර්ඞ් මැරිටයිම් සර්විසස් සමාගමට ගාලු වරායේ පාවෙන අවි ගබඩාවක් පවත්වාගෙන යාමට අනුමැතිය දීම තුළින් රජයට රුපියල් බිලියන 11.4 ක පාඩුවක් සිදු කිරිමට එරෙහිව අල්ලස් කොමිසම විසින් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේ ගොනුකළ නඩුව නීතිවිරෝධී යැයි තීන්දු කර එම චෝදනාවෙන් නිදහස් කිරීමේ නියෝගයක් ඉල්ලා හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් මෙම ප්‍රතිශෝධන පෙත්සම අභියාචනාධිකරණයේ ගොනුකර ඇත.

    අචල වෙන්ගප්පුලි සහ අර්ජුන ඔබේසේකර යන අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ එම තීන්දුව අද ප්‍රකාශයට පත් කිරීමට නියමිතව තිබුණි. එම නඩු තීන්දුව සූදානම් නොමැති බැවින් එය ප්‍රකාශ කිරීම අගෝස්තු 30දා තෙක් කල් දමන බව අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල නියෝග කළේය.

    අල්ලස් කොමිසම මෙ නඩුව ගොනු කළ අන්දම නීතිවිරෝධී බව සඳහන් කරමින් නීතිඥවරු මූලික විරෝධතාවක් කළත් එය ප්‍රතික්ෂේප කොට නඩුව විභාග කිරීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය තීන්දු කළ බව ගෝඨාභය රාජපක්ෂ මහතා ප්‍රකාශ කළේය

    කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය විසින් ප්‍රකාශිත එම තීන්දුව නීතිවිරෝධී බවත් එය ප්‍රතිශෝධනය කර තමන්ම චෝදනා වලින් නිදහස් කරන ලෙස ඉල්ලා කොළඹ මහාධිකරණය වෙත ප්‍රතිශෝධන පෙත්සමක් ඉදිරිපත් කළද එය ප්‍රතික්ෂේප කිරීමට කොළඹ මහාධිකරණය තීන්දු කළ බව ගෝඨාභය රාජපක්ෂ මහතා වැඩිදුරටත් කියා සිටි.

    ඒ අනුව කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය සහ කොළඹ මහාධිකරණය විසින් ප්‍රකාශිත මෙම තීන්දු ප්‍රතිශෝධනය කර තමන්ව සියලු චෝදනාවලින් නිදහස් කිරීමේ නියෝගයක් නිකුත් කරන මෙන් ඉල්ලා ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් අභියාචනාධිකරණය වෙත මෙම ප්‍රතිශෝධන පෙත්සම ඉදිරිපත් කර තිබේ.

    Latest News