මුඛ පිළිකා රෝගීන්ගේ වැඩිවීමක්

ජූලි 25, 2019

    පසුගිය වසර 05ක දත්ත අනුව මෙරට වාර්තා වූ මුඛ පිළිකා වැළැදුනු රෝගීන්ගෙන් 40%ක පමණ වැඩිවීමක් පෙන්නුම් කරන බව, ජාතික පිළිකා මර්දන වැඩසටහන පවසයි.

    එම පිළිකා වර්ගය වැඩි වශයෙන් වයසින් වැඩි පුද්ගලයින්ට වැළැදුන ද, මෑතක සිට තරුණ පරම්පරාව අතර, මුඛ පිළිකාව වාර්තාවීමේ වර්ධනයක් පෙන්නුම් කරන බව, විශේෂඥ වෛද්‍ය ප්‍රසන්න ජයසේකර මහතා පවසයි. මෙරට පිරිමින් අතර බහුලතම පිලිකාව මුඛ පිළිකාවයි. මුඛ පිළිකාව නිසා දිනකට ශ්‍රී ලාංකිකයින් දෙදෙනෙකුවත් මියයයි. මෙම පිළිකා වර්ගය ඇතිවීමට හේතුවන ප්‍රධාන සාධක වන්නේ, බුලත්විට හා පුවක් සැපීම, දුම්පානය, මත්වතුර පානයයි. අනෙකුත් සාධක වන්නේ, පෝෂණ ඌණතාව, අයහපත් මුඛ සෞඛ්‍ය, හියුමන් පැපිලෝමා වෛරස ආසාධනයයි. මුඛ පිළිකා වැළැදීමේ වැඩි අවදානමක් ඇති පුද්ගලයින් වන්නේ දවසකට බුලත් විට තුනකට වඩා සපන පුද්ගලයන් වනවා.

    අවුරුදු 30ට වැඩි පුරුද්දක් ලෙස දුම්පානය කරන සහ සතියකට වතාවක් වත් මත්වතුර පානය කරන පුද්ගලයන් සහ දවසකට පුවක් පැකට් එකක්වත් සපන පිරිස ද මීට ඇතුළත්. මුඛ පිළිකාවක් හටගැනීටම පෙර බොහෝ විට මුඛයේ කල් පවතින සුදු හෝ රතු ලප, එම වර්ණ දෙක මිශ්‍ර ලප, මුඛයේ අසාමාන්‍ය දැවිල්ලත් සමඟ තොල් සහ ශ්ලේෂ්මලයේ ඝනවීමක් සහ සුදුමැලිවීමක් දක්නට ලැබේ. ඊට අමතරව කාලයක් පවතින සුව නොවන තුවාල දැකගත හැකි බව විශේෂඥ වෛද්‍ය ප්‍රසන්න ජයසේකර මහතා පවසයි.

    Latest News