මැයි 13 ප්‍රහාරයට පොහෝට්ටුවේ මන්ත්‍රී රිමාන්ඩ් භාරයට

ජූලි 25, 2019

    මාරවිල තුම්මෝදර, කොට්ටරාමුල්ල සහ මොරකැලේ යන ප්‍රදේශ වල සිදුවූ කලහකාරී සිදුවීම් වලට නායකත්වය ලබා දී ඇති බවට සැකකරන නාත්තන්ඩිය ප්‍රාදේශීය සභාවේ පොදු ජන පෙරමුණ මන්ත්‍රී උපුල් හේරත්ව අගෝස්තු මස 07 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කෙරේ.

    මාරවිල දිසා විනිසුරු හා මහේස්ත්‍රාත් සිරිමෙවන් මහේන්ද්‍රරාජා මහතා විසින් ඊයේ (24) වැනිදා සවස නියෝග කළේය.

    පසුගිය මැයි මස 13 වැනිදා මාරවිල තුම්මෝදර, කොට්ටරාමුල්ල සහ මොරකැලේ යන ප්‍රදේශ වල සිදුවූ කලහකාරී සිද්ධීන් සම්බන්ධව කොස්වත්ත පොලීසිය විසින් අධිකරණයට කරුණු වාර්තා කර තිබුණි. මෙම සිදුවීමෙන් පසු සැකකාර පොදු ජන පෙරමුණ මන්ත්‍රී උපුල් හේරත් නවසීලන්තය බලා ගොස් තිබුණි. නැවත දිවයිනට පැමිණීමෙන් අනතුරුව නීතිඥයින් මගින් මෝසමක් ඉදිරිපත් කර ඊයේ අධිකරණයේ පෙනි සිටියේය.

    ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයා මැයි මස 13 වැනිදා සිදුවූ කිසිදු සිදුවීමට සම්බන්ධයක් නොමැති බවත්, ඔහු එම ස්ථාන වල රැදී නොසිටි බවත් නීතිඥයින් අධිකරණය හමුවේ කියා සිටියේය.

    පාස්කු ප්‍රහාරයෙන් පසුව මාරවිල අධිකරණ බල ප්‍රදේශයට අයත් තුම්මෝදර,කොට්ටරාමුල්ල සහ මොරකැලේ යන ප්‍රදේශ වල සිදුවීම් 27 ක් සම්බන්ධයෙන් තමන්ට වාර්තා වී ඇති බවත්, එම කටයුතු වලට නායකත්වය දුන් අයට ඇප ලබා දෙන්නේ කුමන පදනමක් මතදැයි දිසා විනිසුරුවරයා මෙහිදී ප්‍රශ්න කර සිටියේය. මෙම සිදුවීම් වලදී මිනිස් ඝාතනයක්, නිවාස ගිනි තැබීම් ,දේපල වලට හානි සිදු කිරීම්ද වාර්තා වී ඇති බවද දිසා විනිසුරුවරයා විවෘත අධිකරණයේදී කියා සිටියේය.

    සැකකාර මන්ත්‍රීවරයා රටෙන් පලා යාමක් කර නොමැති බවත්, නවසීලන්තයේ ජීවත් වන තම බිරිද සහ දරුවන් දැක ගැනීම සදහා ගොස් ඇති බවත්, එම කාලය තුළ සැකකරු වෛද්‍ය ප්‍රතිකාර ලබා ඇති බවද නීතිඥයින් අධිකරණයට පැවසියිය.

    සැකකරු මැයි මස 13 වැනිදා සිදුවූ සිදුවීම් වලට නායකත්වය දුන් බවට පොලීසිය සතුව තොරතුරු ඇති බව පැමිණිල්ල වෙනුවෙන් අධිකරණයේ පෙනී සිටිමින් කොස්වත්ත පොලීසියේ අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක නිහාල් රංජිත් මහතා කියා සිටියේය. එම ගැටුම් මැඩ පැවැත්වීමට අතිරේක පොලිස් කණ්ඩායම් වලට අමතරව යුධ හමුදාව සහ නාවුක හමුදාව කැදවීමට සිදුවූ බව උප පොලිස් පරීක්ෂකවරයා පැවසියිය.

    පොලීසිය තොරතුරු වාර්තා කිරීමක් පමණක් කර ඇති බවත්, ඒ සම්බන්ධයෙන් වූ සවිස්තර සම්පිණ්ඩන වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කරන ලෙස දිසා විනිසුරුවරයා කොස්වත්ත පොලීසියට නියෝග කළේය.

    කොස්වත්ත පොලීසියේ අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක නිහාල් රංජිත් මහතා පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටියේය.

    Latest News