අගමැති: මහනුවර පෙරහැරට ආරක්‍ෂාව තහවුරු කළ යුතුයි (වීඩියෝ)

ජූලි 24, 2019

    ජාතියේ අසිරිමත් සංස්කෘතික මංගල්‍යය සේ සැලකෙන මහනුවර ඇසළ මහා පෙරහැර සඳහා පූර්ණ ආරක්‍ෂාව තහවුරු කළ යුතු බව, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

    ඊට අදාළ සියලු පාර්ශ්වයන් සාමූහිකව ක්‍රියා කළ යුතු බව, වික්‍රමසිංහ මහතා කියා සිටී. ඔහු මේ අදහස් පළ කළේ, මහනුවර දී පැවති ඇසළ පෙරහැර ආරක්‍ෂාව පිළිබඳ පැවති විශේෂ සාකච්ජාවේදී. අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ශ්‍රී දළදා මාළිගාව වෙත පැමිණ ආගමික වතාවත්වලට සහභාගි විය. අග්‍රාමාත්‍යවරයා, මල්වතු විහාරයට පැමිණ මහනායක අතිපූජ්‍ය තිබිබොටුවාවේ ශ්‍රී සුමංගල නා හිමියන් බැහැ දැක ආශිර්වාද ලබාගත්තේය. ආරක්‍ෂක තත්වය සහ පෙරහැර සඳහා අලි-ඇතුන් සහභාගි කර ගැනීමේ දී ඇති වන ගැටලු පිළිබඳව ද මෙහිදී අවධානය යොමු කෙරිණ.

    අනතුරුව, අග්‍රාමාත්‍යවරයා මහනුවර ඇසළ මහ පෙරහැර පිළිබඳ මහනුවර කෞතුකාගාර ශ්‍රවණාගාරයේ පැවති විශේෂ සාකච්ජාවට ද සහභාගි විය. අස්ගිරි පාර්ශ්වයේ මහනායක අතිපූජ්‍ය වරකාගොඩ ඥානරතන හිමියන්, මල්වතු අස්ගිරි අනුනාහිමිවරුන් ඇතුළු මහා සංඝරත්නය ද දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල, බස්නායක නිලමේවරුන් සහ ආරක්‍ෂක අංශ නිලධාරීන් ද ඊට එක්ව සිටියහ.

    Last modified on බදාදා, 24 ජූලි 2019 20:08

    Latest News