සාලාව මනරම් නගරයක් ලෙසින් ගොඩනැගීම ඇරඹේ (වීඩියෝ)

ජූලි 23, 2019

    සාලාව අවි ගබඩාව පුපුරා යාමෙන් සිදුවූ හානි වෙනුවෙන් ක්‍රියාත්මක සාලාව නගර සංවර්ධන ව්‍යාපෘතියේ පළමු අදියර සාර්ථකව අවසන් කර තිබේ.

    මෙය අදියර තුනක ව්‍යාපෘතියක්. එය ක්‍රියාත්මක කරනු ලැබ ඇත්තේ, ආපදා කළමනාකරණ අමාත්‍යාංශය, ශ්‍රී ලංකා යුද හමුදාව සහ මහ නගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශය ඒකාබද්ධවයි. සාලාව යුද හමුදා කඳවුරට අයත් අවි ගබඩාව පුපුරායාමට ලක් වූයේ, 2016 වසරේ ජුනි මස 5 වැනි දිනයි. සිද්ධියෙන් අවට දේපොළවලට දැඩි හානි සිදුවිය. එය ප්‍රතිපූර්ණය සඳහා ක්‍රියාත්මක නගර සංවර්ධන ව්‍යාපෘතියේ පළමු අදියර යටතේ, 35 දෙනෙකුට නව වෙළෙඳ කුටි ලබාදීම අද සිදු කෙරිණ.

    රුපියල් තුන්කෝටි විසි ලක්‍ෂයක් මීට වැය කර තිබේ. වෙළෙඳ කුඩි හිමියන් වෙත යතුරු බාරදීම සිදුවූයේ, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන්. මෙහි දෙවැනි අදියර යටතේ අභ්‍යන්තර මාර්ග සහ වැසි ජල කළමනාකරණ පද්ධති ඇතුළු මූලික යටිතල පහසුකම් සංවර්ධනයට නියමිතයි. තෙවැනි අදියර වෙන්කර ඇත්තේ, ක්‍රීඩාංගණයක්, ළමා උද්‍යානයක්, තැපැල් කාර්යාලයක්, ප්‍රජා ශාලාවක් සහ බැංකු ශාඛා ස්ථාපනය සඳහායි. යෝජිත ඉදිකිරීම් අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කෙරිණ.

    Last modified on අඟහරුවාදා, 23 ජූලි 2019 20:33

    Latest News