උඩවලව උද්‍යානයේ දී සංචාරකයන්ට වෙඩි තැබූ සැකකරුවන් අල්ලයි

ජූලි 23, 2019

    පසුගිය 20 වැනිදා උඩවලව ජාතික වනෝද්‍යානයේ දී සංචාරකයන් පිරිසකට වෙඩි තැබීමේ සිද්ධියක් වාර්තා විය.

    එම සිදුවීම පිළිබඳව වනජීවි නිළධාරීන් විසින් හම්බෙගමුව පොලිසියට පැමිණිලි කර ඇත. ඒ අනුව වනජීවි අමාත්‍ය ජෝන් අමරතුංග මැතිතුමාගේ උපදෙස් මත වනජීවී වැටලීම් ඒකකයේ විශේෂ කණ්ඩායමක් ලුණුගම්වෙහෙර ජාතික වනෝද්‍යානය වෙත යවා තිබේ. ඒ අනුව දින දෙකක් තිස්සේ කරන ලද වැටලීමකින් එම සිදුවීමට සම්බන්ධ සැකකරුවන් තිදෙනාව අත්අඩංගුවට ගැනීමට හැකි ව ඇත. අත්අඩගුවට ගත් සැකකරුවන්ගෙන් ලද තොරතුරු මත විවිධ වර්ගයේ ගිනි අවි රාශියක්ද ලුණුගම්වෙහෙර ජාතික වනෝද්‍යානයේ සඟවා තිබියදී අද(23) දින සොයා ගැනීමට හැකිව තිබේ.

    පසුගිය 20 වැනිදා උඩවලව ජාතික වන උද්‍යානයට ඇතුළු වූ සංචාරක පිරිසක් රැගත් සංචාරක ජීප් රථයට ජාතික උද්‍යානය තුළ ඇති මව් ආර වැව ආසන්නයේ මෙලෙස වෙඩි ප්‍රහාරයක් එල්ල වී තිබේ. එකම පවුලේ සංචාරකයන් තිදෙනෙක් මෙම ජිප් රථයේ සිට ඇති අතර ඔවුන් ප්‍රවේශපත්‍ර රැගෙන ජාතික වනෝද්‍යානයට ඇතුළුවී ඇත්තේ සවස 2.15 ට පමණ යැයි අප වාර්තාකරු සඳහන් කරයි. පසුව මව් ආර වැව ආසන්නයට ගොස් එම ස්ථානය ඇති සංචාරක ලැගුම් ගන්නා ස්ථානයේ මොවුන්සැරි සරමින් සිටියදී ගිනි අවි රැගත් කිසියම් පිරිසක් ඈතින් ඔවුන් දෙසට දිව එනු දෙක තිබේ. ඒ පිළිබඳ සැක කළ ජිප් රථයේ රියදුරු වහාම ඔවුන් ජීප් රථයට නංවා ගෙන ඉතා වේගයෙන් ජීප් රථය ධාවනය කිරීමට උත්සාහ කර තිබේ. එහි දී සැකකරුවන් විසින් ජීප් රථයට වෙඩි තබා තිබෙන අතර එයින් ජීප් රථයේ වීදුරුවකට හානි සිදුවී ඇත. තමන් දෙසට පැමිණෙන මෙම දඩයක්කරුවන් යැයි සැකකරන පිරිසගේ ඡායාරූප කීපයක් එම සංචාරක විසින් ලබා ගැනීමට හැකිව තිබේ. ඒ අනුව වනාන්තරයේ සැඟවී සිටි මොවුන් අත්අඩංගුවට ගැනීමට හැකවී ඇත. මෙම වෙඩි තැබීම සිදුව ඇත්තේ 20 වැනි දින සවස 5.10 ට පමණයි. මෙම වෙඩි තැබීම සිදුවන අවස්ථාවේ එම ස්ථානයට තවත් සංචාරක ජීප් රථ තුනක් නතර කර තිබූ අතර එම ජීප් රථ ද ඉතා ඉක්මනින් ඉවත්කර ගෙන තිබේ.

    වනජීවී නිලධාරීන් විසින් අත්අඩංගුවට ගත් මෙම සැකකරුවන් හම්බෙගමුව පොලිසියට භාර දී ඇත. මෙහිදී එක් සැකකරුවෙක් පාපොච්චාරණය කරමින් කියා සිටියේ ස්වයංක්‍රිය ගිනි අවි භාවිතා කරන සැකකරුවන් කිහිප දෙනෙක්ම එම ගම්මානයේ සිටින බවයි.

    එම සැකකරුවන් හම්බෙගමුව රතඹලාගම ප්‍රදේශයේ පදිංචිකරුවන් ලෙස හඳුනාගෙන ඇති අතර ඔවුන්ගේ රැකියාව දඩයම් කිරීම බව හම්බෙගමුව පොලිසිය පවසයි. මීට පෙර කරන ලද වැරදි කීපයකටම වරෙන්තු ලබා සිටින මෙම සැකකරුවන් අද දින වැල්ලවාය දිසා මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත යි.

    Latest News