පාසල් දරුවන්ට ඩිජිටල් ගුරුවරයෙක්

ජූලි 22, 2019

    වෙනස්වන ලෝකයට අලුත් දැනුම සමඟ යා යුතු බැවින්, ඒ සඳහා පහසුවෙන් සහාය කරගත හැකි, නව දැනුම පිරිනැමීමට ඩිජිටල් ගුරුවරයෙක් පාසල් දරුවන්ට ලබාදීමට සුදානම් යැයි අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පවසයි.

    akila 01

    'ළඟම පාසල හොඳම පාසල' සංවර්ධන ව්‍යාපෘතිය යටතේ කුරුණෑගල, ගිරිඋල්ල අධ්‍යාපන කලාපයට අයත් නාපොකුණ කනිෂ්ඨ විද්‍යාලයේ ඉදිකළ ප්‍රාථමික ඉගෙනුම් සම්පත් මධ්‍යස්ථානය සිසු අයිතියට පත් කිරීමේ අවස්ථාවට එක්වෙමින් ඔහු මේ බව කියා සිටියේය.

    පාසල් දරුවන්ට නව ලොව නව දැනුම සමඟ එක්වීමට ඩිජිටල් තාක්ෂණයේ සහාය ලබා දීමට නොමිළේ ටැබ් පරිගණක පිරිනැමීමට යෝජනාව 11 ක් කැබිනට් අනුමැතියට ඉදිරිපත් කරන්නට සිදුවූ බවත්, එම විප්ලවීය තීන්දුව ජනාධිපතිතුමාගේත්, අගමැතිතුමා ඇතුළු කැබිනට් මණ්ඩලයේ අනුමැතියෙන් ක්‍රියාත්මක කිරිමට හැකිවූ බව අමාත්‍යවරයා ප්‍රකාශ කළේය. ඒ අනුව සියලු ජාතික පාසල්වල උසස් පෙළ සිසුන් හා ගුරුවරුන් වෙනුවෙන් ටැබ් ලක්ෂයක් ලබාදීමේ වැඩපිළිවෙළ එළඹෙන අගෝස්තු සිට ක්‍රියාවට නැංවීමට නියමිත බවත් ඔහු කියා සිටියේය. ඉදිරි මාස කිහිපය තුළ සියලුම උසස් පෙළ සිසුන් සහ ගුරුවරුන් වෙත ද ඉන් අනතුරුව මෙම පහසුකම සමස්ත පාසල් පද්ධතිය වෙත ලබාදෙන බව ද අමාත්‍යවරයා සඳහන් කළේ ය.

    මේ අවස්ථාවට බුද්ධ ශාසන හා වයඹ සංවර්ධන අමාත්‍ය ගාමිණී ජයවික්‍රම පෙරේරා මහතා ඇතුළු දේශපාලන නියෝජිතයන් රැසක් එක්ව සිටියහ.

     

     

     

     

     

    Last modified on සදුදා, 22 ජූලි 2019 19:10

    Latest News