“රස බොජුන් 03“ කෘතිය දොරට වඩී

ජූලි 21, 2019

    අද ජුලි 21 වැනිදා.

    ඉරිදා දිනයක්. අප්‍රේල් 21 පාස්කු ඉරු දින ඛේදවාචකය ඉතිරි කළේ, අමිහිරි මතකයක්. එම ප්‍රහාරයට ප්‍රවීණ සූප ශාස්ත්‍රවේදී ශාන්තා මායාදුන්නේ මහත්මිය සහ ඇයගේ දියණියත් ගොදුරු වුණා. එම සිදුවීමට අදට තෙමසක් සපිරෙද්දි ශාන්තා මායාදුන්නේ මහත්මිය අපට අපූරු කෘතියක් තිළිණ කර තිබෙනවා. ඉවුම්-පිහුම් ඇය කලාවක් ලෙස ඇදහූ ඇය රසවත්ව සහ ඉක්මණින් ආහාර පිසගන්නා ආකාරය අපේ ගෘහණියන්ට හඳුන්වා දුන් කාන්තාවන් අතර පුරෝගාමිණියයි. ලිඛිත සහ ශ්‍රව්‍ය දෘෂ්‍ය මාධ්‍යවලිනුත් ඇය කාන්තාවන් දැනුවත් කළා.

    පාස්කු ඉරිදා උදෑසන ආහාරය ගැනීමට ගොස් සිටියදී නොසිතූ ලෙස ඇය හා ඇයගේ වැඩිමහල් දියණිය නිසංගා මායාදුන්නේ ජයසේකර අපෙන් සමුගත්තා. නිසංගා මායාදුන්නේ මහත්මිය ජාතික රූපවාහිනියේ චැනල් අයි නාලිකාවේ නිවේදිකාවක් ලෙස ද අපට හමුවුණා. ශාන්තා මායාදුන්නේ මහත්මිය අවුරුදු 3කටත් වඩා දිගු කාලයක් තිස්සේ වෙහෙස මහන්සි වී සකස් කළ අපූරු ආහාර වට්ටෝරු සහිත රස බොජුන් 03 කෘතිය ඔවුන් අපගෙන් සමුගෙන තෙමසක් ගතවේදී ජනතාවට තිළිණ කෙරුණා. 

    ප්‍රකාශනාධිපති ප්‍රේම් දිසානායක මහතා විසින් එම කෘතිය ශාන්තා මායාදුන්නේ මහත්මියගේ දියණිය තරංගා මායාදුන්නේ මහත්මිය සහ සැමියා කුමිාර් මායාදුන්නේ මහතා වෙත පසුගියදා පිළිගන්වනු ලැබුවා. ප්‍රවීණ සූප ශාස්ත්‍රවේදිනී ශාන්තා මායාදුන්නේ මහත්මිය රසික ජන සමූහයට තිළිණ කළ අවසන් නිර්මාණය වන රස බොජුන් 03 ග්‍රන්ථය ආරාධිත අමුත්තන් වෙත පිළිගැන්වීම ද සිදු වුණා. බත් වර්ග 30ක් සමඟ ආහාර වට්ටෝරු 50ක් සහිත මෙම කෘතියෙහි ආහාර වට්ටෝරුවල ඡායාරූප ද අඩංගුයි. එමෙන්ම දේශීය-විදේශීය ආකාරයට සකස් කළ ආහාර වට්ටෝරු මෙහි අන්තර්ගතයි. ඇය විසින් 2001 වසරේ ලියන ලද “රස බොජුන් 01“ සහ 2005 වසරේ ලියන ලද “රජ බොජුන් 02“ කෘති මෙන් මෙම කෘතියද ආහාර සැකසුම් කලාවේ නව මං සොයන ගෘහණියන්ට බෙහෙවින් වැදගත් වනු ඇති.

     

     

     

    Latest News