ජාතියක් ලෙස දැක්මකින් යුතුව කටයුතු කළ යුතුයි; අගමැති

ජූලි 05, 2019

    ජාති, ආගම් භේද ඉස්මතු කරමින් කටයුතු කිරීමේ අවාසිය සමස්ත ශ්‍රී ලාංකිකයින්ට අත්විඳීමට සිදුවන බව, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

    ඉදිරි වසර 5 තුළ පොහොසත් රටක් ලෙස ඉදිරියට යාමට නම්, ජාතියක් ලෙස දැක්මකින් යුතුව කටයුතු කළ යුතු බව, අග්‍රාමාත්‍යවරයා අවධාරණය කර සිටී. අග්‍රාමාත්‍යවරයා මෙම අදහස් පළ කළේ, රුවන්වැල්ල රාජසිංහ මධ්‍ය මහා විද්‍යාලයේ නව පරිපාලන ගොඩනැගිල්ල විවෘත කිරීමේ අවස්ථාවට අද (05) එක්වෙමින්. දැරණියගල ප්‍ර දේශයේ සංවර්ධන ව්‍යාපෘතීන් කිහිපයක් අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් අද ආරම්භ කෙරිණ.

    රුවන්වැල්ල කරන්තොට විසල් පානීය ජල යෝජනා ක්‍රමයේ වැඩ ආරම්භ කෙරුණේ වික්‍රමසිංහ මහතා අතින්. රුපියල් කෝටි 624ක් වැය කරන ව්‍යාපෘතිය මගින් යටියන්තොට, රුවන්වැල්ල, දැරණියගල ප්‍රදේශ ආශ්‍රිත ජනතාවගේ පානීය ජල අවශ්‍යතා සපුරාලනු ඇති. රුවන්වැල්ල සුලෙයිමානියා මුස්ලිම් මහා විද්‍යාලයේ නව ගොඩනැගිල්ල ද විවෘත කෙරුණේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන්. මීට අමතරව රුවන්වැල්ල බස් නැවතුම්පොළ හා ක්‍රීඩාංගණ වටරවුම් පාර කාපට් අතුරා සංවර්ධනය කිරීම ද අගමැතිවරයා අතින් ආරම්භ කෙරිණ. දැරණියගල සිරි සමන් මහා විද්‍යාලය සහ කොස්ගස්කන්ද මහා විද්‍යාලයේ නව තෙමහල් ගොඩනැගිල්ල අග්‍රාමාත්‍යවරයා විවෘත කළේය. දැරණියගල බස් නැවතුම්පොළේ ප්‍රතිසංස්කරණ ආරම්භ කෙරුණේ ද අග්‍රාමාත්‍යවරයා අතින්. ඊට වැය කරන මුදල රුපියල් ලක්‍ෂ 130ක්.

    Last modified on සිකුරාදා, 05 ජූලි 2019 20:39

    Latest News