නිශ්ශංක සේනාධිපති ඇතුළු 8ක් අත්අඩංගුවට ගැනීමට නීතිපතිගෙන් උපදෙස්

ජූලි 05, 2019

    ගාලු වරායේ පාවෙන අවි ගබඩාවක් පවත්වාගෙන යාමේ සිද්ධිය සම්බන්ධයෙන් ඇවන්ගාඩ් මෙරිටයිම් සර්විසස් සමාගමේ සභාපති නිශ්ශංක යාපා සේනාධිපති ඇතුළු අට දෙනෙකු අත්අඩංගුවට ගෙන සැකකරුවන් ලෙස නම් කර අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට පියවර ගන්නා ලෙස නීතිපතිවරයා විසින් වැඩබලන පොලිස්පති වරයා වෙත නියම කර තිබේ.

    නීතිපතිවරයාගේ සම්බන්ධීකරණ නිළධාරිනි රජයේ නීතිඥ නිෂාරා ජයරත්න මෙනවිය ප්‍රකාශ කළේ නීතිපති දප්පුල ද ලිවේරා මහතා විසින් ලිඛිතව මෙම දැනුම් දීම වැඩබලන පොලිස්පතිවරයා වෙත සිදු කර ඇති බවයි.

    ඒ අනුව ඇවන්ගාඩ් අධිපති නිශ්ශංක යාපා සේනාධිපති, විශ්‍රාමික යුධ හමුදා මේජර් ජෙනරාල්වරුන් වන පාලිත ප්‍රනාන්දු සහ කේ.ඒ. එගොඩවෙල, විශ්‍රාමික එයාර් වයිස් මාෂල් පී. බී .ප්‍රේමචන්ද්‍ර, විශ්‍රාමික කොමදෝරු විශ්වජිත් නන්දන දියබලනගේ යන අය සැකකරුවන් වශයෙන් අත්අඩංගුවට ගෙන අධිකරණය හමුවට ඉදිරිපත් කරන ලෙසයි නීතිපතිවරයා පොලිස්පතිවරයා වෙත උපදෙස් ලබා දී තිබෙන්නේ.

    ඊට අමතරව ආරක්ෂක අමාත්‍යාංශයේ හිටපු ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම්වරුන් වන දමයන්ති ජයරත්න හා සමන් දිසානායක සහ රක්නා ලංකා ආරක්ෂක සමාගමේ හිටපු සභාපති පර්සි වික්ටර් සමරවීර යන අයද සැකරුවන් වශයෙන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර ලෙසයි නීතිපතිවරයා විසින් නිකුත් කළ උපදෙස් වල වැඩිදුරටත් සඳහන් කර තිබෙන්නේ.

    මෙම සැකකරුවන් ගිනි අවි ආඥා පනත යටතේ කුමන්ත්‍රණය කිරීම සහ ආධාර අනුබලදීම යන වැරදි සිදු කර ඇති බවට දැනට සිදුකර ඇති පරීක්ෂණ වලින් සාක්ෂි අනාවරණය වී ඇතැයි නීතිපතිවරයා ගේ සම්බන්ධීකරණ නිලධාරිනි රජයේ නිතිඥ නිෂාරා ජයරත්න මෙනවිය සඳහන් කළාය.

    මෙලෙස සැකකරුවන් ලෙස නම් කිරීම සඳහා නම් කර තිබෙන නිශ්ශංක යාපා සේනාධිපති සහ විශ්වජිත් නන්දන දියබලනගේ යන අය මේ වන විට විදේශගත වී සිටින බවට තොරතුරු ලැබී ඇතැයි ද රජයේ නීතිඥ නිශාරා ජයරත්න මෙනවිය වැඩිදුරටත් සඳහන් කළාය.

     

    Last modified on සදුදා, 08 ජූලි 2019 15:44

    Latest News