ලබන 05 සිට මාසයක් බීමත් රියදුරන් අල්ලන විශේෂ මෙහෙයුමක් (වීඩියෝ)

ජූලි 03, 2019

    ලබන 05 වැනිදා සිට, මසක කාලයක් බලපැවැත්වෙන පරිදි බීමත් රියදුරන් අත්අඩංගුවට ගැනීමේ විශේෂ මෙහෙයුමක් ක්‍රියාත්මක කිරීමට, පොලිසිය පියවර ගෙන තිබේ.

    ඒ ගැන පැහැදිලි කළ පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා...

    “2018 වර්ෂයේදී බීමත් රියදුරන් එක්ලක්‍ෂ පන්දහස් අනූ හතරක් අත්අඩංගුවට අරන් තියෙනවා. 2019 මුල්මාස පහක කාලය තුළ බීමත් රියදුරන් 36,359ක් අත්අඩංගුවට අරගෙන තිබෙනවා. ජුලි 05 සිකුරාදා සිට මාසයක කාලයක් දිවයින පුරාම බලපැවැත්වෙන ලෙස බීමත් රියදුරන් අත්අඩංගුවට ගැනීමේ විශේෂ මෙහෙයුමක් කිරිමට නියමිතව තිබෙනවා. මේ මෙහෙයුම සිදුකරන පොලිස් නිලධාරීන්ට විශේෂ ත්‍යාග දීමක් ලබාදීමට පොලිස් මූලස්ථානය තීරණය කරලා තියෙනවා“ යැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා පවසයි.

    මේ අතර, බස්නාහිර පළාත-දකුණ රථවාහන කොට්ඨාසය නමින් නව රථවාහන කොට්ඨාසයක් ස්ථාපනය ද පියවර ගෙන තිබේ. ඉන් ආවරණය කෙරෙන ප්‍රදේශ වන්නේ, පානදුර සිට දෙහිවල දක්වා, හෝමාගම සිට කිරුළපන දක්වා, හෝමාගම සිට මාලඹේ දක්වා, කඩුවෙල සිට ඔරුගොඩවත්ත දක්වා, කොට්ටාව සිට ආයුර්වේද වටරවුම දක්වා සහ මාලඹේ සිට පොල්දූව වටරවුම දක්වා කොටසයි. මෙය රථවාහන බාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ අධීක්‍ෂණය යටතේ ක්‍රියාත්මකයි.

    මංතීරු නීතිය යළි ආරම්භ කිරීමෙන් පසු, මේ දක්වා අදාළ නීතිය කඩ කිරීම සම්බන්ධයෙන්, නඩු 5,120ක් පවරා ඇති බවද පොලිසිය පවසයි.

    Last modified on බදාදා, 03 ජූලි 2019 21:11

    Latest News