සීනි සහිත පැණිබීම සඳහා යළි බදු

ජූලි 03, 2019

    සීනි රහිත පැණිබීම වෙළෙදපොලෙන් ඉවත්වීම වළක්වා ගැනීමේ අරමුණින් සීනි සහිත පැණිබීම සදහා බදු පැනවීමට අමාත්‍ය මණ්ඩලයේ අවධානය යොමු වූ බව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා පවසයි.

    සීනි සහිත පැණිබීම සදහා පනවා තිබූ බදු දින 52 ක් පුරා පැවැති දේශපාලන අර්බුදය සමයේ දී ඉවත් කිරීමට එවකට අග්‍රාමාත්‍යවරයා ලෙස නම් කෙරුණු මහින්ද රාජපක්ෂ මහතා කටයුතු කර තිබුනි. සීනි සහිත පැණිබීම සදහා යළි බදු පැනවීමට සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවක් ඉදිරිපත් කර තිබූ අතර, ඊට අනුමැතිය ලබාදීම සදහා මුදල් අමාත්‍යාංශය සති දෙකක කාලයක් ඉල්ලා තිබුනි. මේ පිළිබදව අමාත්‍ය මණ්ඩලයේ දී ඊයේ (02) සාකච්ඡා කළ අතර, එහිදී සෞඛ්‍ය අමාත්‍යවරයා පැවැසුවේ බදු ඉවත් කිරීම තුලින් සීනි රහිත පැණිබීම වෙළෙදපොලෙන් ඉවත්වන බවයි. මේ පිළිබදව මුදල් අමාත්‍යවරයාගේ අවධානය යොමු විය යුතු බව ද බෝනොවන රෝග පාලනය කිරීම සදහා මෙම පියවර ගත් බව ද සෞඛ්‍ය අමාත්‍යවරයා සදහන් කළේය. තව ද සීනි ග්රැම් 6 ක් අඩංගු පළතුරු බීම සදහා බදු පැනවීමෙන් තොරව කටයුතු කිරීමටත් අනෙකුත් සාමාන්‍ය පැණිබීම සදහා බදු පැනවිමටත් මෙහිදී තීරණය කර ඇත. මේ පිළිබදව අවසන් තීරණයක් ගැනීමේ සාකච්ඡාවක් ලබන සිකුරාදා පෙරවරුවේ මුදල් අමාත්‍යාංශයේ දී පැවැත්වීමට නියමිතය.

    Latest News