"සූර්යබල සංග්‍රාමය නවතා දමන්නේ නැහැ....." - අමාත්‍ය රවී

ජූනි 30, 2019

    "ඇතිවිය හැකි බලශක්ති අර්බුදයට පිළියමක් වශයෙන් සූර්යබල ශක්තිය ප්‍රවර්ධනය දිරිමත් කළයුතුයි......." සූර්යබල සංග්‍රාමය පිළිබදව පැවති ප්‍රගති සමාලෝචන රැස්වීමකදී විෂයභාර අමාත්‍ය රවී කරුණානායක මහතා අවධාරණය කරයි.

    ඉදිරියේදී රට තුළ ඇතිවිය හැකි බලශක්ති අර්බුදයට ස්ථිරසාර විසදුම සූර්ය බලශක්තිය ප්‍රවර්ධනය කිරීම බව, විදුලිබල, බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍ය රවී කරුණානායක මහතා ප්‍රකාශ කළේය.

    සූර්යබල සංග්‍රාමය ප්‍රගති සමාලෝචනය සදහා විදුලිබල, බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍යාංශ පරිශ්‍රයේදී පසුගියදා පැවති සාකච්ඡාවකට සහභාගි වෙමින් අමාත්‍යවරයා මේ බව පැවසීය. සූර්ය විදුලිබල සේවා සපයන්නන් සමග පැවති මෙම සාකච්ඡාවේදී සූර්යබල සංග්‍රාමය පිළිබදව මේ වනවිට රට තුළ පැතිර ඇති අසත්‍ය ප්‍රචාරයන් පිළිබදවද අමාත්‍යවරයා විසින් කරුණු පැහැදිළි කිරීමක් සිදු කළේය.

    විදුලිබල ක්ෂේත්‍රය පුනර්ජනනීය බලශක්ති ප්‍රභවයන් වෙත යොමුකිරීම, නිෂ්පාදකයාට, පාරිභෝගිකයාට මෙන්ම ලංකා විදුලිබල මණ්ඩලයටත් ආර්ථිකමය වශයෙන් වාසිදායක තත්ත්වයක් බවත්, ඒ තුළින් පරිසරයට සිදුවන හානියද අවම මට්ටමකට ගෙන ආ හැකි බවත් අමාත්‍යවරයා පැවසීය. එසේම දෛනිකව වර්ධනය වන විදුලි ඉල්ලුම සපුරාලීම රජයේ සහ විෂයබාර අමාත්‍යවරයා වශයෙන් තමාගේ ප්‍රධාන වගකීමක් වන බැවින් ඒ වෙනුවෙන්ද සූර්යබල විදුලි උත්පාදනය මහත් ශක්තියක් බවත් අමාත්‍ය කරුණානායක මහතා පැවසීය.

    මෙහිදී සූර්යබල කර්මාන්තකරුවන් සහ සැපයුම්කරුවන් මුහුණපා සිටින උත්පාදිත සූර්යබල විදුලිය රදවා තබාගැනීම, කුඩා සූර්යබල විදුලි උත්පාදන ව්‍යාපෘති ආරම්භ කිරීමේදී අනුමැතිය ලබාගැනීම සහ ණය පහසුකම් ලබාගැනීම ආදි කරුණු පිළිබදව අමාත්‍යවරයා සමග දීර්ඝ වශයෙන් සාකච්ඡා කෙරිනි. සූර්ය විදුලිබල උත්පාදන ක්ෂේත්‍රය මේ වනවිට මුහුණපා ඇති ගැටළුකාරී තත්ත්වයන් පිළිබදව මෙහිදී සූර්යබල සැපයුම්කරුවන් විසින් විෂසයභාර අමාත්‍යවරයාට කරුණු ඉදිරිපත් කළ අතර එම ගැටලු නිරාකරණය කිරීම සදහා විශේෂයෙන්ම අමාත්‍යවරයාගේ මැදිහත්වීම අපේක්ෂා කරන බවද පැවසීය.

    රටේ විදුලිබල සැපයුමේ වර්ධනය සහ පැවැත්ම වෙනුවෙන් ගතයුතු ප්‍රධාන පියවරක් ලෙස සූර්යබල විදුලි උත්පාදනය සංවර්ධනය කිරීම පිළිබදව තමාගේ අවධානය යොමුවී ඇති බැවින්, ඒ වෙනුවෙන් ගතයුතු ක්‍රියාමාර්ගයන් ගැනීමට තමා කිසිදු විටක පසුබට නොවත බව පැවසූ විෂයබාර අමාත්‍යවරයා, සූර්ය විදුලිබල නිෂ්පාදනය තවදුරටත් රට තුළ ව්‍යාප්ත කිරීම උදෙසා ඉදිරියේදී වැඩසටහන් කිහිපයක් දියත් කිරීමට බලාපොරොත්තු වනබවද පැවසීය.

     

    Latest News