‘එජාපයේ වැඩපිළිවෙළින් ගම්වල ප්‍රබෝධයක් ඇතිවෙලා’

ජූනි 28, 2019

    එක්සත් ජාතික පක්ෂයේ නව ආර්ථික වැඩපිළිවෙළින් වෙනත් කිසිදු යුගයක නොවූ ප‍්‍රබෝධයක් අද ගම් තුළ ඇති වී තිබෙන බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී කාවින්ද ජයවර්ධන මහතා පවසයි.

    ගම්පෙරළිය වැනි වැඩසටහන් මගින් අද රටේ සෑම කොණක්ම ශීඝ්‍ර දියුණුවකට ලක්ව ඇති බව ඔහු පැවසුවේය. පාට පක්ෂ භේදයකින් තොරව මෙම වැඩසටහන් සිදුකරන බවත් මන්ත්‍රිවරයා සඳහන් කළේය.

    ඔහු මේ බව කියා සිටියේ කොළඹ අරලියගහ මන්දිරයේදී අද(28) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින්.

    පාර්ලිමේන්තු මන්ත‍්‍රී කාවින්ද ජයවර්ධන මහතා ‘‘අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතාගේ නායකත්වයෙන් අපේ රජය මේ රටේ දැවැන්ත සංවර්ධන විප්ලවයක් කරගෙන යනවා. මේ වැඩපිළිවෙළ අපි කරන්නේ ගම සංවර්ධනය කිරීමේ චේතනාවෙන්.

    ගම්පෙරළිය ව්‍යාපෘතිය යටතේ අද අපිට පුළුවන්කම ලැබිලා තියෙනවා හැම ආසනයකටම මිලියන 300ක් ලබාදෙන්න. ගම සංවර්ධනය කරලා රට සංවර්ධනය කරන වැඩපිළිවෙළක් එදා මෙදා තුර කිසිදු ආණ්ඩුවකින් ක‍්‍රියාත්මක කරලා නැහැ. අවුරුදු 20ක් තිස්සේ අපේ පාක්ෂිකයන්ට සමෘද්ධිය ලැබුණේ නැහැ. ශ්‍රී ලංකා නිහස් පක්ෂයේ පාක්ෂිකයන්ට පමණයි මේ අවුරුද්ද තුළ සමෘද්ධිය ලැබුණේ. අපි ඒ පිරිසගෙත් සමෘද්ධිය කප්පාදු නොකර එය හිමිවිය යුතු තවත් පවුල් ලක්ෂ හයකට ඒ සහනය ලබා දුන්නා.

    ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතාත් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාත් 18 සහ 19 වැනි සංශෝධන ගැන කතා කරනවා. අපි දන්නවා මහින්ද රාජපක්ෂ මහතා 19වැනි සංශෝධනයට වෛර කරන්නේ ඇයි කියලා. 18 අහෝසි කිරීම නිසා ජනාධිපති අපේක්ෂකයෙක්වත් හොයා ගන්න බැරුව අද ඔවුන් බංකොලොත් වෙලා. අද පොහොට්ටුව දන්නවා 19 නිසා තමයි අද මේ රටේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය ස්ථාපිත වෙලා තියෙන්නේ කියලා. ඒ නිසා මේ අය 19 ගැන වෛරයෙන් පසුවෙනවා. ගෑනියෙක් පිරිමියෙක් කරනවා ඇරෙන්න අනිත් සියලු දේ කරන්න පුළුවන් වන ව්‍යවස්ථාව අපි වෙනස් කළා. එක්සත් ජාතික පක්ෂය ප‍්‍රමුඛ අපේ රජය ජනතාවගේ අවශ්‍යතාවයන්, උන්නතිය වෙනුවෙන් කැපවී ක‍්‍ර‍්‍රියාකරද්දී තමන් ශක්තිමත්ව බලය රඳවා ගන්නේ කොහාමද කියන එක ගැන විතරක් අද ඒ අය කතා කරනවා’’ යැයිද මන්ත‍්‍රීවරයා එහිදී පැවසීය.

     

     

     

     

     

     

     

    Last modified on සිකුරාදා, 28 ජූනි 2019 20:31

    Latest News