අඹගස්වැව රාහුල නාහිමියෝ රටපුරා ගොස් සොයා ගත් 60

ජූනි 27, 2019

    සම්බුද්ධ ශාසනය ආරක්ෂා කිරීමට සහ එහි පැවැත්ම ගැන සිතන බෞද්ධයන්ගේ වගකීම තම දරුවෙකු සසුනට භාර කිරීම බව රංගිරි දඹුලු රජමහා විහාර හා ශ්‍රී විෂ්ණු දේවාලයේ භාරකාර සියම් මහා නිකායේ අස්ගිරි පාර්ශවයේ මාතලේ දිසාවේ උප ප්‍රධාන සංඝනායක පූජ්‍ය අඹගස්වැව රාහුල නාහිමියෝ පවසති.

    ඓතිහාසික රන්ගිරි දඹුලු රජ මහා විහාරය මැද පන්සල හෙවත් වළගම්බා පිරිවෙනෙහි වසර තිස් අටකට පසු කුල දරුවන් 60 දෙනකු සසුන් ගත කිරීමේ උත්සවය පිළිබඳව මාධ්‍ය දැනුවත් කිරීමේ අවස්ථාවට එක්වෙමින් නාහිමියන් මේ බව සඳහන් කළහ.

    දිවයින පුරා වැඩම කරමින් දරුවන් 60 දෙනෙකු දැඩි වෙහෙසක් දරා සොයාගත් බවත් එම දරුවන් ලබන 04 වන දින ඓතිහාසික රංගිරි දඹුලු රජමහ විහාරයේ වලගම්බා පිරිවෙනේදී සසුන් ගත කිරීමේ අවස්තාවට බෞද්ධ ජනතාවට පැමිණිමට ආරාධනා කිරීම වෙනුවෙන් මෙම මාධ්‍ය හමුව කැඳවා තිබිණි.

    මෙහිදී රන්ගිරි දඹුල්ල රජමහා විහාරස්ථ ශ්‍රී විෂ්ණු දේවාල භාරකාර නා හිමියන් වැඩිදුරටත් කියා සිටියේ මෙරට සම්බුද්ධ ශාසනයේ පැවැත්ම සඳහා කරුණු දෙකක් අවශ්‍ය බව උන්හවසන්සේ පැවසුහ. දැනට වැඩසිටින භික්ෂූන් වහන්සේලා අතර සමගිය ඇතිවීම සහ නව පරපුරේ යොවුන් මව්වරුන් සහ පියවරුන් සම්බුද්ධ ශාසනය ගැන සිතා සඟ පරපුරට බුද්ධපුත්‍රයන් පූජා කිරීම සිදු කළ යුතු බව පෙන්වා දුන්හ. මතලේ දිසාවේ සෑම වෙහෙර විහාරස්ථානයකම වැඩසිටින භික්ෂූන් වහන්සේලා ඒකරාශී කොට සාමග්‍රිය පිළිබඳව සංවිධානාත්මකව කටයුතු කිරීමට නායකත්වය ලබාදෙන බවත් වෙහෙර විහාරස්ථාන ඉදි කර ගැනීමට අපහසුවක් ඇති භික්ෂූන් වහන්සේලාට උදව් උපකාර කිරීම මෙන්ම ප්‍රදේශයේ දැඩි ආර්ථික පීඩාවෙන් සිටින ජනතාවට උදව් පදව් කිරීම මෙම උත්සාහයේ තවත් පියවරක් බව කියා සිටියහ.

    දිවයින පුරා බොහෝ වෙහෙර විහාරස්ථාන පැවතියද භික්ෂූන් වහන්සේලා නොමැතිව විනාශ මුඛයට ගමන් කරමින් තිබෙන බවත් එම නිසා සම්බුද්ධ සාසනය පවත්වාගෙන යෑමට මෙරට බුද්ධපුත්‍රයන්ගේ අඩුවීම බරපතළ ලෙස වර්තමානයේ දැනෙමින් පවතින බවත් කඩිනමින් මෙය පුරවා නොගතහොත් ඉදිරි බෞද්ධයන්ට විශාල අනතුරකට මුහුණ පෑමට සිදුවන බව ද උන්වහන්සේ වැඩිදුරටත් සඳහන් කළහ.

    Latest News