“සාධාරණ සමාජයක අපේක්‍ෂාව“ ස්මාරකය නිරාවරණය කෙරේ (වීඩියෝ)

ජූනි 25, 2019

    පූජ්‍ය මාඳුලුවාවේ සෝභිත නාහිමිගේ මෙහෙවර සිහිකිරීම උදෙසා ඉදි කළ “සාධාරණ සමාජයක අපේක්‍ෂාව“ ස්මාරකය අද (25) නිරාවරණය කෙරිණ.

    එය ස්ථාපනය කර ඇත්තේ, පාර්ලිමේන්තුව අසල ජපන් මිත්‍රත්ව මාර්ගයට යාබදවයි. කෝට්ටේ ශ්‍රී කල්‍යාණි සාමග්‍රී ධම්ම මහා සංඝ සභාවේ මහානායක ආචාර්ය පූජ්‍ය ඉත්තෑපානේ ධම්මාලංකාර හිමියන් ප්‍රමුඛ මහා සංඝරත්නයේ ප්‍රධානත්වයෙන් හා කතානායක කරූ ජයසුරිය මහතා සහ මැති ඇමතිවරුන්ගේ සහභාගිත්වයෙන් ස්මාරකය නිරාවරණය කිරිම සිදු කෙරිණ. පූජ්‍ය මාඳුලුවාවේ සෝභිත හිමියන් ඉටු කළ ජාතික, ශාසනික හා සමාජයීය මෙහෙවර සිහිකිරීම ස්මාරකය පිහිටුවීමේ අරමුණයි. අදාළ කටයුතු මෙහෙයන ලද්දේ පූජ්‍ය මාඳුලුවාවේ සෝභිත හිමි ගුණානුස්මරණ පදනම විසින්.

    පූජ්‍ය මාඳුලුවාවේ සෝභිත හිමියන් සාධාරණ සමාජයක් වෙනුවෙන් පුරෝගාමී මෙහෙවරක් ඉටු කළ සංඝ පීතෘවරයෙක්. උන්වහන්සේ විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම හා නව ඡන්ද ක්‍රමයක් ඇති කිරීමට ප්‍රමුඛත්වය ගෙන ක්‍රියා කළේය. 2015 දේශපාලනික වෙනස වෙනුවෙන් ද පුරෝගාමී මෙහෙවරක් ඉටු කළ උන්වහන්සේ පෙනී සිටියේ, මෙරට යහපාලනයක් ස්ථාපනය කිරීම සඳහායි. තරුණයන් මත්ද්‍රව්‍ය උවදුරෙන් ගලවා ගැනීම වෙනුවෙන් ක්‍රියාත්මක වූ අමද්‍යප ව්‍යාපාරය ශක්තිමත් කිරීම ද උන්වහන්සේ මහත් පරිශ්‍රමයක් දරමින් ක්‍රියා කළේය. සුවිසල් සමාජ මෙහෙවරක් ඉටු කළ පූජ්‍ය පූජ්‍ය මාඳුලුවාවේ සෝභිත හිමියන්, අසනීප තත්වයකින් අපවත් වූයේ, 2015 වසරේ නොවැම්බර් 06 වැනි දිනයි.

    Last modified on අඟහරුවාදා, 25 ජූනි 2019 20:23

    Latest News