අමරපුර අරියවංශ සද්ධම්මයුක්තික පාර්ශ්වයේ 42 වැනි උපසම්පදා මහෝත්සවය

ජූනි 21, 2019

    ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ අමරපුර අරියවංශ සද්ධම්මයුක්තික පාර්ශ්වයේ 42 වැනි උපසම්පදා මහෝත්සවය ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ සහභාගිත්වයෙන් අද (21) පස්වරුවේ ගල්ලෑල්ල පුලතිසි විද්‍යාපීඨයේ දී පැවැත්විණි.

    ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ අමරපුර අරියවංශ සද්ධම්මයුක්තික පාර්ශ්වයේ උප සම්පදා විනය කර්මය අද සිට 23 වනදා දක්වා පුලතිසිපුර මහා වාලුකා නදීතෙර උදකුක්ඛේප සීමා මාලකයේ දී පැවැත්වෙන අතර 100ක් නමක් එහිදී උපසම්පදා ශීලයේ පිහිටුවීම සිදු කෙරේ.

    ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ මහානායක අග්ගමහා පණ්ඩිත, විනයකීර්ති ශ්‍රී කොටුගොඩ ධම්මාවාස මහානායක ස්වාමින් වහන්සේගේ ප්‍රධානත්වයෙන් පුලතිසි විද්‍යාපීඨයේ පැවැත්වුණු උපසම්පදා මහෝත්සවය සඳහා සහභාගී වූ ජනාධිපතිතුමා වෙත 42 වන උපසම්පදා මහෝත්සවය පිළිබඳ පළ කෙරුණු සමරු සංග්‍රහය ද පිළිගැන්විණි.

    මේ අතර විද්‍යාපීඨයේ ඉදිකෙරමින් පවතින භික්ෂු නේවාසිකාගාරය ද මෙහිදී ජනාධිපතිතුමාගේ නිරික්ෂණයට ලක් විය.

    ඉන් අනතුරුව මනම්පිටිය පාලම අසළ පිහිටි පුලතිසිපුර මහා වාලුකා නදීතෙර උදකුක්ඛේප සීමා මාලකය වෙත පැමිණි ජනාධිපතිතුමා සධාතුක කරඬුව තැන්පත් කර පුෂ්පෝපහාර දැක්වීය.

    ශ්‍රී ලංකා අමරපුර අරියවංශ සද්ධම්මයුක්තික පාර්ශ්වයේ මහා නායක පූජ්‍ය එගොඩමුල්ලේ අමරමෝලි මහා නායක ස්වාමින් වහන්සේ, අනුනායක අග්ගමහා පණ්ඩිත පූජ්‍ය ආචාර්ය වල්පොල විමලඥාන අනුනායක ස්වාමින් වහන්සේ, ලේඛකාධිකාරි පූජ්‍ය කදුරුවෙල ධම්මපාල නායක ස්වාමින් වහන්සේ ප්‍රමුඛ මහා සංඝරත්නය ද පොළොන්නරුව නගරාධිපති චානක සිදත් රණසිංහ, දිසාපති පණ්ඩුක අබේවර්ධන යන මහත්වරුන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

     

    Latest News