පරිසරය රැකීමේ දී දේශපාලන න්‍යාය පත්‍රවලට වැඩ කරන්න එපා - ජනපති (වීඩියෝ)

ජූනි 21, 2019

    පරිසරය රැක ගැනීමේ වැදගත්කම සියලුදෙනා හඳුනාගෙන සිටින යුගයක එම වගකීම් ඉටුකිරීමේ දී කිසිවෙකු දේශපාලන න්‍යාය පත්‍ර අනුව කටයුතු නොකළ යුතු බව ජනාධිපතිතුමා පවසයි.

    මතු පරපුර වෙනුවෙන් පරිසරයේ තුලිත පැවැත්ම තහවුරු කිරීමට රටේ වගකීම් දරන සියලුදෙනා කැපවිය යුතු බව ජනාධිපතිතුමා අවධාරණය කළේ රත්නපුර/ නිවිතිගල සුමන මධ්‍ය මහා විද්‍යාලයේ අභිනව තෙමහල් ගොඩනැඟිල්ලේ ඉදිකිරීම් කටයුතු ආරම්භ කිරීමේ අවස්ථාවට අද (21) පෙරවරුවේ එක් වෙමිනි.

    මෙහිදී අදහස් දැක්වූ ජනාධිපතිතුමා වැඩිදුරටත් සඳහන් කළේ ඉදිරියේ දී අප විසින් සපුරාගත යුතුම ඉලක්කයක් බවට පත්ව ඇති රටේ වන ඝනත්වය 32% දක්වා ඉහළ නංවා ගැනීමේ වැඩපිළිවෙළ වෙනුවෙන් කැපවීම දේශපාලනඥයන්ගේ, රාජ්‍ය නිලධාරින්ගේ, පාසල් දරුවන්ගේ මෙන් ම සමස්ත පුරවැසියන්ගේ ම වගකීම බවයි.

    රත්නපුර දිස්ත්‍රික්කයේ දිළිඳුකම තුරන් කිරීම සඳහා ගෙන යන වැඩපිළිවෙළ පිළිබඳව ද අදහස් දැක්වූ ජනාධිපතිතුමා කියා සිටියේ දිස්ත්‍රික්කයේ දුගී භාවය ඉහළ යාමට මත්ද්‍රව්‍ය ප්‍රධාන හේතුවක් වී තිබෙන බවයි.

    මත්ද්‍රව්‍ය නිවාරණය වෙනුවෙන් රජය කැපවී කටයුතු කරන්නේ රටේ දුගී භාවය තුරන් කර සියලු ජනතාවගේ ජීවිත සමෘද්ධිමත් කිරීමේ අරමුණෙන් බව සඳහන් කළ ජනාධිපතිතුමා මෙම ජූනි 26 වන දාට යෙදෙන ලෝක මත්ද්‍රව්‍ය නිවාරණ දිනයට සමගාමීව ජූනි 23 වන දා සිට සතිය මත්ද්‍රව්‍ය නිවාරණ සතියක් ලෙස ප්‍රකාශයට පත් කරමින් විශේෂ වැඩසටහන් රැසක් දීප ව්‍යාප්තව සංවිධානය කර තිබෙන බව ද කියා සිටියේය.

    යෝජිත තෙමහල් ගොඩනැගිල්ලේ ඉදිකිරීම් ආරම්භ කිරීමට අදාළ සමරු ඵලකය නිරාවරණය කිරීම ජනාධිපතිතුමා අතින් සිදු විය.


    විද්‍යාලයේ විශිෂ්ටතා දැක්වූවන්ට තිළිණ පිළිගැන්වීමට ද ජනාධිපතිතුමා එක් විය. මේ අතර ජනාධිපතිතුමා වෙනුවෙන් ද විශේෂ සිහිවටන තිළිණයක් පිළිගැන්විණි.

    සබරගමුව පළාත් ආණ්ඩුකාර ධම්ම දිසානායක, නිවිතිගල ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සංවිධායක මියුරු භාෂිත ලියනගේ යන මහත්වරුන් ඇතුළු පිරිසක් ද, විදුහල්පති කේ.ඒ. වීරසිංහ මහතා සහ ආචාර්ය මණ්ඩලය, දෙමාපියන්, ආදි සිසුන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

    Last modified on සිකුරාදා, 21 ජූනි 2019 21:21

    Latest News