පොලිසිය ඉහල නිලධාරීන් 9 කට එරෙහි විමර්ශන අරඹයි

ජූනි 21, 2019

    පාස්කු ඉරුදින බෝම්බ ප්‍රහාරය සම්බන්ධයෙන් පොලිස් නිලධාරීන් 9 දෙනෙකුට එරෙහිව විමර්ශන පවත්වන ලෙස වැඩබලන පොලිස්පති චන්දන වික්‍රමරත්න මහතා විසින් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට සහ පොලිස් මූලස්ථාන විමර්ශන කමිටුවට උපදෙස් දී ඇත.

    පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කිරීමට ජනාධිපතිතුමා විසින් පත් කළ ත්‍රිපුද්ගල කමිටු වාර්තාව අනුව පොලිස් නිලධාරීන්ට එරෙහිව අපරාධ සහ විනය සම්බන්ධ විමර්ශනයක් සිදු කරන ලෙස නීතිපති විසින් වැඩබලන පොලිස්පති වෙත ඊයේ උපදෙස් දෙනු ලැබුවා. ඒ අනුවයි වැඩබලන පොලිස්පති චන්දන වික්‍රමරත්න මහතා අදාළ විමර්ශනය සිදු කිරීමට තීරණය කර ඇත්තේ.

    ජනාධිපති කමිටු වාර්තාවට අනුව පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් රාජකාරීවල පවතින අඩුපාඩු පිලිබඳව කොළඹ දිසාව බාර, බස්නාහිර පළාත් උතුර බාර හා විශේෂ ආරක්‍ෂක දිසාව බාර නියෝජ්‍ය පොලිස්පතිවරුන් තිදෙනා සම්බන්ධයෙන් පරීක්‍ෂණ ආරම්භ කරන ලෙසයි, නීතිපතිවරයාගේ නිර්දේශයේ දැක්වෙන්නේ. ඊට අමතරව මීගමුව ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයා, කොළඹ උතුර බාර පොලිස් අධිකාරිවරයා, මීගමුව දිසාව 3 බාර සහකාර පොලිස් අධිකාරිවරයා, මීගමුව දිසාව 4 බාර සහකාර පොලිස් අධිකාරිවරයා, කටාන පොලිස් ස්ථානාධිපතිවරයා හා ජම්පටා වීදිය පොලිස් මුර පොළේ ස්ථානාධිපතිවරයාට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා ලෙස දන්වා තිබේ.

    අදාළ නිර්දේශ ජාතික පොලිස් කොමිසම වෙත යොමුකර ඉහත නිලධාරීන්ට සුදුසු විනය ක්‍රියාමාර්ග අනුගමනය කිරීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ද නීතිපතිවරයා වැඩබලන පොලිස්පතිවරයාට සිය ලිපිය මගින් දන්වා තිබේ.

     

     

     

    Last modified on සිකුරාදා, 21 ජූනි 2019 19:58

    Latest News