ශාන්ත අන්තෝනි මුනිඳුන්ගේ දේවස්ථානයේ, දිනපතා දේව මෙහෙය අද සිදු කෙරිණ (වීඩියෝ)

ජූනි 12, 2019

    පාස්කු ප්‍රහාරයෙන් පසු ප්‍රතිසංස්කරණය කෙරුණු, කොළඹ කොච්චිකඩේ ශාන්ත අන්තෝනි මුනිඳුන්ගේ දේවස්ථානයේ, දිනපතා දේව මෙහෙය අද ආරම්භ කෙරිණ.

    දිවයිනේ දේවස්ථාන කිහිපයකට එල්ල වූ ප්‍රහාර හමුවේ, ශාන්ත අන්තෝනි මුනිඳුන්ගේ දේවස්ථානට ද දැඩි ලෙස හානි සිදුවිය. මේ පිලිබඳ සැලකිලිමත් වූ රජය ප්‍රහාරයෙන් දින 2 කට පසු දේවස්ථානය පිරිසිදු කොට ප්‍රතිසංස්කරණ ආරම්භ කරනු ලැබීය. ශ්‍රී ලංකා නාවික හමුදාව, ඒ සඳහා ප්‍රමුඛ දායකත්වය ලබාදුන්නේය. ශ්‍රී ලංකා කතෝලික රදගුරු සංගමයේ හා කච්චතිවු කතෝලික දේවස්ථානයේ ගෘහ නිර්මාණ ශිල්පීන්ගේ අදහස් අනුව, ප්‍රතිසංස්කරණ සිදු කෙරිණ. ශ්‍රී ලංකා නාවික හමුදාවේ ඉංජිනේරු අංශයේ දායකත්වය ද ඒ සඳහා ලැබිණි. දේව මෙහෙය අද සවස අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගේ ප්‍රධානත්වයෙන් බැතිමතුන් විශාල පිරිසකගේ සහබාගිත්වයෙන් පැවැත්විණ. මෙහිදී අගරදගුරු හිමිපාණන් කියා සිටියේ, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා හා සජිත් ප්‍රේමදාස අමාත්‍යවරයා ඇතුළු රජය ලබාදුන් සහායට ස්තූතිය පළ කරන බවයි.

    එහිදී අදහස් පළ කළ අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් වහන්සේ....

    “පාස්කු ඉරිදා සිදුවෙච්ච මහා විනාශය ගැන අපි ඇත්ත වශයෙන්ම තවමත් ඉන්නේ කණගාටුවෙන්. ඒ සියලු දෙනාගේම සිතේ තිබුණු වේදනාව, පීඩනය, සිත්තැවුල අයින් කරන්නේ කොහොමද කියලා අපි තවම කල්පනා කරනවා. ඒ වගේම මේ මියගිය අයගේ පවුල්වල ඉතුරු වෙලා ඉන්න අය ඒ අයට විඳින්න සිද්ධ වෙලා තියෙන දුක අපට දැනෙනවා. අපි කතෝලික සභාව මේ සහෝදර, සහෝදරියන්ව අතහැරලා දාන්නේ නැහැ කවදාවත්. ශාන්ත අන්තෝනි මුනිඳුන්ගේ විශ්වාසය තබාගෙන උන්වහන්සේගේ සෙවණ තුළ ජීවිතය නැති කරගත්තු මේ උදවිය සාන්තුවරු. ඒ නිසා අපි ඔවුන්ව හැමදාම සිහියට නඟනවා“ යැයි අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් වහන්සේ කියා සිටියේය.

    කොච්චිකඩේ ශාන්ත අන්තෝනි මුණිඳුන්ගේ දේවස්ථානයේ 185 වැනි වාර්ෂික මංගල්‍යය හෙටට යෙදී තිබේ.

    Last modified on බදාදා, 12 ජූනි 2019 23:06

    Latest News