අධිකරණයට අපහාස කළේයැයි රංජන්ට තවත් නඩුවක්

ජූනි 12, 2019

    අධිකරණයට අපහාස කළේ යැයි සඳහන් කරමින් අමාත්‍ය රංජන් රාමනායක මහතාට එරෙහිව ඉදිරිපත්කර තිබෙන දෙවන පැමිණිල්ලට අදාළව අද සිට මාසයක් ඇතුළත චෝදනා පත්‍රයක් ඉදිරිපත් කිරීමට පියවර ගන්නා මෙන් ශ්‍රේෂ්ඨාධිකරණය නීතිපතිවරයාට නියම කළේය.

    මෙම පැමිණිල්ල අද අගවිනිසුරු ජයන්ත ජයසූරිය ,විජිත් මළල්ගොඩ සහ මුර්දු ප්‍රනාන්දු යන මහත්ම මහත්මීන් ගෙන් සමන්විත ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ කැඳවනු ලැබීය.

    එහිදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනීසිටි රජයේ අතිරේක සොලිස්ටර් ජනරාල් සංජය රාජරත්න මහතා අධිකරණයට දන්වා සිටියේ මෙම පැමිණිල්ලට අදාළව වගඋත්තරකරු විසින් කිසියම් කණගාටුව පළකිරීමක් සිදුකිරීමට සූදානම් බවට ඔහුගේ නීතිඥවරයා විසින් ඉකුත් නඩු දිනයේ අධිකරණය හමුවේ ප්‍රකාශ කර තිබූ බවයි.

    එවැනි කණගාටුව පළ කිරීමක් හෝ සමාව අයැදීමක් සිදුකළ හැක්කේ ෙම සිද්ධියට අදාලව චෝදනා පත්‍රයක් ඉදිරිපත් කිරීමෙන් පසුව පමණක් බවද අතිරේක සොලිස්ටර් ජෙනරාල් වරයා අධිකරණය හමුවේ පෙන්වා දුනි.

    මෙහිදී අගවිනිසුරු ජයන්ත ජයසූරිය මහතා සහ විනිසුරු විජිත් මලල්ගොඩ මහතා ද අධිකරණය හමුවේ පෙන්වා දුන්නේ විත්තිකරුට යමක් ප්‍රකාශ කිරීමට තිබේ නම් ඒ පිළිබඳව සැල කළ හැක්කේ මෙම පැමිණිල්ලට අදාළව චෝදනා පත්‍රය ඉදිරිපත් කිරීමෙන් පසුව පමණක් බවයි.

    එහිදී රංජන් රාමනායක මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ෆායිස් මුස්තාපා මහතා අධිකරණයට දන්වා සිටියේ එම පැමිණිල්ලට අදාළව චෝදනා පත්‍රයක් ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් තමන්ගේ විරුද්ධත්වයක් නොමැති බවත් කෙසේ වෙතත් මෙම සිද්ධියට අදාළව කරුණු දැක්වීමට තමන්ට අවස්ථාවක් තිබිය යුතු බව කියා සිටියේය.

    එම කරුණද පිළිගත් ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල රංජන් රාමනායක මහතාට එරෙහිව ඉදිරිපත්කර තිබෙන අධිකරණ අපහාස කිරීමේ චෝදනාව සම්බන්ධයෙන් අද සිට මසක් ඇතුළත චෝදනා පත්‍රයක් ඉදිරිපත් කිරීමට පියවර ගන්නා මෙන් නීතිපතිවරයාට නියම කළේය.

    අනතුරුව පැමිණිල්ල ජුලි මස 30 වනදා කැඳවීමටත් ්‍රේෂ්ඨාධිකරණය නියම කළේ.

    ඉකුත් නොවැම්බර් මස ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට ගත් තීරණය අභියෝගයට ලක් කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනු කර තිබූ මූලික අයිතිවාසිකම් විභාග කළ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල සම්බන්ධයෙන් රංජන් රාමනායක මහතා පළ කළ අදහස් වලින් ඒ මහතා අධිකරණයට අපහාසයක් සිදු කර ඇතැයි චෝදනා කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් නිකුත්කළ නොතීසියකට අනුව මෙම නඩු කටයුත්ත ආරම්භ වී තිබේ.

    Last modified on බදාදා, 12 ජූනි 2019 11:00

    Latest News