ගෝඨාභයගේ රීට් පෙත්සමට අදාළ ලිඛිත දේශන ලබන 14

ජූනි 10, 2019

    හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ඉදිරිපත් කර ඇති රීට් පෙත්සමකට අදාළ ලිඛිත දේශන මේ මස 14 වනදා ඉදිරිපත් කරන ලෙස අභියාචනාධිකරණය දෙපාර්ශයේ නීතිඥවරුන්ට නියම කර ඇත.

    කොළඹ ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණය දුන් නියෝගයක් බල රහිත කරන ලෙස ඉල්ලා මෙම රීට් පෙත්සම ඉදිරිපත් කර තිබේ.

    අචල වෙංගප්පුලි සහ අර්ජුන ඔබේසේකර යන මහත්වරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ මෙම පෙත්සම අද යලි සලකා බැලීම ආරම්භ කෙරිණ.

    එහිදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටින රජයේ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් මිලින්ද ගුණතිලක මහතා විසින් දේශන ඉදිරිපත් කිරීම අවසන් කෙරිණ. ඉන් අනතුරුව නඩුවට අදාළ ලිඛිත දේශන තිබේනම් ඒවා ලබන 14 වනදා ඉදිරිපත් කරන ලෙසයි අභියාචනාධිකරණය දෙපාර්ශ්වයෙන් ඉතින්වලට දන්වා සිටි ඇත.

    පෙත්සම්කාර ගෝඨාභය රාජපක්ෂ මහතා අධිකරණය හමුවේ කියා සිටින්නේ ඩී. ඒ. රාජපක්ෂ අනුස්මරණ කෞතුකාගාරය ඉදිකිරීමේදී රුපියල් මිලියන තිස් හතරකට ආසන්න රජයේ මුදල් සාවද්‍ය ලෙස පරිහරණය කළේ යැයි චෝදනා කරමින් තමා ඇතුළු විත්තිකරුවන් පිරිසකට එරෙහිව නීතිපතිවරයා කොළඹ ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණය හමුවේ නඩුවක් ගොනු කර ඇති බවයි.

    ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණයට බලය පැවරී තිබෙන්නේ බරපතළ ආර්ථික වැරදි සහ මූල්‍ය අපරාධ පිලිබඳ නඩු විභාග කිරීමට පමණක් බවත් තමන්ට එරෙහිව ගොනු කර තිබෙන මෙම නඩුව එවැනි ගණයට අයත් නොවන නඩුවක් බැවින් එය විභාග කිරීමට කොළඹ ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණයට බලයක් නොමැති බව සඳහන් කරමින් තම නීතිඥවරු මූලික විරෝධතාවක් මතු කළ බව ගෝඨාභය රාජපක්ෂ මහතා කියා සිටී. එහෙත් එම මූලික විරෝධතාව විශේෂ මහාධිකරණය මගින් ප්‍රතික්ෂේප කළ බවයි ඔහු කියා ප්‍රකාශ කරයි. එම මහාධිකරණ නියෝගයට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණය වෙත අභියාචනයක් ඉදිරිපත් කිරීම සඳහා ඊට අදාල ගොනු විශේෂ මහාධිකරණය වෙත භාර දෙනු ලැබුවද එය භාරගෙන ශ්‍රේෂ්ඨාධිකරණය වෙත යොමු කිරීම ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල ප්‍රතික්ෂේප කළ බවද ගෝඨාභය රාජපක්ෂ මහතා කියා සිටී.

    එලෙස තම අභියාචනය ශ්‍රේෂ්ඨාධිකරණය වෙත යොමු කිරීම ප්‍රතික්ෂේප කිරීමට ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල ගත් තීන්දුව නීති විරෝධී බවට තීන්දුවක් ලබාදෙන ලෙසත් මෙම පෙත්සම විභාග කොට අවසන් තීන්දුවක් ලබාදෙන තෙක් කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ තමන්ට එරෙහිව පවතින නඩුව විභාගය කිරීම අතුරු නියෝගයක් නිකුත් කරන මෙන් ද ගෝඨාභය රාජපක්ෂ මහතා වැඩිදුරටත් මේ මගින් ඉල්ලා සිටී.

    Latest News