“සංචාරක පොඩ්ඩෝ“ ණය යෝජනා ක්‍රමයක් (වීඩියෝ)

මැයි 30, 2019

    පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය හේතුවෙන් ආර්ථික අපහසුතාවට පත්වූ සංචාරක ක්‍ෂේත්‍රයට අනුබද්ධ සේවාවන් සඳහා “සංචාරක පොඩ්ඩෝ“ නමින් ණය යෝජනා ක්‍රමයක් හඳුන්වා දී ඇති බව, අමාත්‍ය මංගල සමරවීර මහතා පවසයි.

    තවත් අංශ ගණනාවක් සඳහා ණය පහසුකම් ලබාදීමට කටයුතු කර ඇතැයි ද අමාත්‍යවරයා සඳහන් කළේය. එහිදී අදහස් පළ කළ අමාත්‍ය මංගල සමරවීර මහතා...


    “ප්‍රධාන පෙළේ සංචාරක ව්‍යාපාරයට ලබාදීපු සහනවලට අමතරව සංචාරක පොඩ්ඩන්, පොඩි-පොඩියට සංචාරක ව්‍යාපාරයට සම්බන්ධ වෙච්ච, හොඳ ආදායමක් ලබාගෙන අද අසරණ වෙලා පොලී කාක්කන්ගේ ගොදුරු බවට පත්වෙලා ඉන්න ඒ අයට විශේෂ සහනයක් ලබාදීමට මුදල් අමාත්‍යාංශයේ අපි තීන්දු කරලා තියෙනවා. ඒ අනුව අපි එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා ණය යෝජනා ක්‍රමය යටතේ ජුනි 10 වැනිදා සිට “සංචාරක පොඩ්ඩෝ“ කියන ණය යෝජනා ක්‍රමය අපි හඳුන්වා දෙනවා. මේ සංචාරක පොඩ්ඩේ ණය යෝජනා ක්‍රමය යටතේ රුපියල් ලක්‍ෂ 5ක උපරිමය දක්වා පොලී රහිත ණයක් අපි ලබාදෙනවා. එපමණක් නෙමෙයි අපි මේ පොලී රහිත ණය සඳහා වසරක එහෙම නැතහොත් මාස 12ක සහන කාලයකුත් ලබාදීලා, වසර තුනක ණය ආපසු ගෙවීමේ කාලසීමාවක් නියම කරනවා.

    මෙම ණය යෝජනා ක්‍රමය ලබාදීම අපි ප්‍රාදේශීය සංචර්ධන බැංකුවට පමණක් සීමා කරනවා. ජුනි මාසේ 10 වෙනිදායි පස්සේ කැමති අයට ගිහිල්ලා ඒ අයදුම් පත්‍රය දාලා ලබාගන්න පුලුවන්. සංගීත සංදර්ශන පවත්වන කණ්ඩායම්වල සාමාජිකයන් විසින් ලබාගත් ණය හා ලීසිං පහසුකම් සඳහා සහන කාලයක්, සහනදායි පොලී අනුපාතයක්, යටතේ නව කාරක ප්‍රාග්ධන ණය ක්‍රමයක් හඳුන්වා දෙනවා. ඒ අනුව 2019 ජුනි මාසේ 10 වැනිදා සිට වසර දෙකක ආපසු ගෙවීමේ කාලයක් සහිතව සියයට 3.5ක පොලී අනුපාතයක් යටතේ උපරිමය රුපියල් පන් ලක්‍ෂය දක්වා නව කාරක ප්‍රාග්ධන මුදලක් ලබාදීමට සඳහා ලංකා බැංකුව වෙත මාර්ගෝපදේශ සංග්‍රහයක් නිකුත් කරනවා. පොලී සහනාධාරය සියයට 75ක්ම දරන්නේ අපේ ආණ්ඩුවෙන්. තොරන් හදන අයටත් අපි එන සතියේ බදාදා වෙනකොට මේ හා ප්‍රමාණ සහන ලබාදෙන්නට බලාපොරොත්තු වෙනවා“ යැයි අමාත්‍යවරයා පැවසීය.

    Last modified on බ්‍රහස්පතින්දා, 30 මැයි 2019 20:18

    Latest News