ISIS ත්‍රස්තයන් සහ සහරාන්ගේ කල්ලිය නැති කළ: ත්‍රස්වාදයට ඉඩ නොතබන සංහිඳියාව ඉදිරියට (වීඩියෝ)

මැයි 30, 2019

    ශ්‍රී ලංකාව තුළ අයි.එස්.අයි.එස්. ත්‍රස්ත සංවිධානය සහ සහරාන්ගේ ජාතික තවුහිද් ජමාත් කල්ලිය සම්පූර්ණයෙන් නැති කර තිබෙන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

    මෙම ත්‍රස්තවාදී ක්‍රියා නැවත රට තුළ ඇති නොවන ආකාරයට පවතින ක්‍රමවේදයන් ප්‍රතිව්‍යුහගත කරමින් ජනතාව සමග සංහිදියාවෙන් ඉදිරියට යා යුතු බවත් පැවසීය. රටේ ආරක්ෂමක අංශ ඉතා කෙටි කලක් තුළ ත්‍රස්තවාදය මර්දනය කර තිබෙන අවස්ථාවක ඇතැම් පාර්ශ්ව කට කතා පතුරුවමින් ජනතාව තුළ අනිසි බියක් ඇති කිරීමේ උත්සාහයක නිරතව සිටින බවත්, 1983 සිදු වූ වරද නැවත සිදු නොකළ යුතු බවත් වික්‍රකමසිංහ මහතා පැවසීය.

    අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මෙම අදහස් පළ කළේ අම්පාර නගර සභා පිටියේ අද (30) දින පැවැති පවුල් ලක්ෂ් 6 ක් සඳහා සමෘද්ධි හිමිකම් ලබාදීමේ ජාතික උත්සවයට එක් වෙමිනි. සමාජ සවිබලගැන්වීම් හා ප්‍රථමික කර්මාන්ත අමාත්‍යංශය සංවිධානය කර තිබූ මෙම ජාතික උත්සවය අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණ. ඊට සහභාගි වීමට පෙර අග්‍රාමාත්‍යවරයා අම්පාර නගරයේ ආර්ථික මධ්‍යස්ථානය හා මහජන පොළ නවීකරණය කිරීම සඳහා මුල්ගල් තැබීමේ අවස්ථාවට ද එක්විය.

    සමෘද්ධි හිමිකම් පිරිනැමීමේ උත්සවය අමතමින් අදහස් දැක්වූ වික්‍රමසිංහ මහතා

    මේ වන විට ශ්‍රී ලංකාව තුළ අයි.එස්.අයි.එස්. ත්‍රස්තවාදය හා සහරාන්ගේ ජාතික තවුහිද් ජමාත් සංවිධානය නැති කර තිබෙනවා. දැන් අපට තිබෙන්නේ අනාගතයේ දී මේ ත්‍රස්තවාදය යළි ඇති නොවන ආකාරයට කටයුතු කිරීමයි. ඒ සඳහා අපේ ක්‍රමවේදය ප්‍රතිව්‍යුහගත කර ජනතාව එකතු කර ගනිමින් සංහිදියාව ඇතිව ඉදිරියට යා යුතුයි. 1983 දී අප සිදු කළ වරද නැවත සිදු කළ යුතු නැහැ. මේ රටේ කිසිඳු ජන කොටසක් කොන් කළ යුතු නැහැ. පාස්කු ඉරිදා බෝම්බ පිපිරවීමෙන් පසු එදිනම මා ආරක්ෂසක අංශ සමග සාකච්ඡා කළා. ආරක්ෂනක අංශ කඩිනමින් ඒ වැඩකටයුතු ආරම්භ කර බෝම්බ පිපිරවීමට අදාළ තොරතුරු විශාල ප්‍රමාණයක් එදිනම සොයා ගනු ලැබුවා.

    අද සහරාන්ගේ කල්ලියේ කොටසක් ජීවතුන් අතර නැහැ. එම කල්ලියට අයත් අනෙක් සියලූ දෙනා අත්අඩංගුවට ගෙන තිබෙනවා. එමෙන්ම එම සංවිධානය සමග සබඳතා පැවැත්වූ අය ද අත්අඩංගුවට ගෙන තිබෙන අතර තවත් කිහිප දෙනෙකු අත්අඩංගුවට ගැනීමට නියමිතයි.

    සහරාන්ගේ කල්ලිය, ජාතික තවුහිද් ජමාත් සංවිධානය සම්පූර්ණයෙන් නැති වුණත් ත්‍රස්තවාදය අවසන් කළා යැයි කියා සිතිය යුතු නැහැ. මෙය එල්.ටී.ටී.ඊ.ය වැනි විශාල සංවිධානයකින් සිදු කරන වැඩක් නොවෙයි. එක කණ්ඩායමක් නැති වුණත්, තවත් කණ්ඩායමක් ඇති විය හැකියි. මේ අයට දේශපාලන අරමුණක් නැහැ. තමන්ගේ අරමුණ මරාගෙන මැරීමයි. ඇතැම් විට දෙතුන් දෙනෙක් එකතු වුණත් මරාගෙන මැරෙන්න පුලූවන්. යුරෝපයේ ඇතැම් අවස්ථාවල එක් පුද්ගලයෙකු වුවත් මරාගෙන මැරෙන බෝම්බ පුපුරුවා ගෙන තිබෙනවා.

    මේ ත්‍රස්තවාදයට මුහුණ දීම සඳහා නව නීති ගෙන ඒමේ අවශ්‍යතාවය මතු වී තිබෙනවා. ඒ වගේම වත්මන් ක්‍රමවේදයන්හි ප්‍රතිව්‍යුහගත කිරීමක් ඇති කළ යුතුයි. එදා එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදයට මුහුණ දීම සඳහා ව්‍යුහයක් ඇති කළා. අද අයි.එස්.අයි.එස්. ත්‍රවස්තවාදය නැති කිරීම සඳහා අලූත් ව්‍යුහයක් සකස් කළ යුතුව තිබෙනවා.

    මෙම අවස්ථාවට ප්‍රථමික කර්මාන්ත සහ සමාජ සවිබලගැන්වීම් අමාත්‍ය දයා ගමගේ, ඛනිජ තෙල් සම්පත් සංවර්ධන නියෝජ්‍ය ඇමැතිනී අනෝමා ගමගේ, ප්‍රථමික කර්මාන්ත සහ සමාජ සවිබලගැන්වීම් රාජ්‍ය අමාත්‍ය අලි සහීර් මවුලානා, සෞඛ්‍ය පෝෂණ සහ දේශීය වෛද්‍ය නියෝජ්‍ය අමාත්‍ය ෆයිසාල් කාසිම්, පා.ම. එම්.අයි.එම්. මන්සූර්, පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් වන බන්දුලලාල් බණ්ඩාරිගොඩ, මොහොමඩ් ඉස්මයිල් ප්‍රධාන දේශපාලනඥයින්, ආරක්ෂක ප්‍රධානීන්, රාජ්‍ය නිලධාරීන් ඇතුලූ විශාල පිරිසක් සහභාගි වූහ.

    Last modified on බ්‍රහස්පතින්දා, 30 මැයි 2019 20:32

    Latest News