වෛද්‍ය ෂාෆි ගැන තීරණයක් ගැනීමට එජාප සූදානම්; නලින් බණ්ඩාර

මැයි 29, 2019

    මොහොමඩ් ෂාෆි වෛද්‍යවරයා වරදක් කර ඇත්නම්, ඔහු ආරක්‍ෂා කිරීමට රජය කිසිසේත් සූදානම් නැතැයි, නියෝජ්‍ය අමාත්‍ය නලින් බණ්ඩාර මහතා පවසයි.

    ඔහු මේ බව කියා සිටියේ, කොළඹ අද පැවති මාධ්‍ය හමුවකදී. එහිදී අදහස් පළ කළ නියෝජ්‍ය අමාත්‍ය නලින් බණ්ඩාර මහතා...

    “වෛද්‍ය විද්‍යාව පිළිබඳ දැනුමක් නැති පුද්ගලයෝ ආණ්ඩුකාරවරු වෙන්න පුලුවන්, දේශපාලඥයෝ වෙන්න පුලුවන්, මාධ්‍යවේදීන් වෙන්න පුලුවන්, සිවිල් සමාජය වෙන්න පුලුවන්, මේ අය තමයි පූර්ව නිගමන ඉදිරිපත් කරන්න මුලික වෙලා කටයුතු කරන්නේ. මං හිතන්නේ CIDත් මේ කාරණය හෙළිදරව් කරන එක ලෙහෙසි වැඩක් නෙමෙයි. මොකද වෛද්‍ය විද්‍යාව ප්‍රමුඛ කාරණයක් මේක. ශ්‍රී ලංකා වෛද්‍ය සභාවට පුලුවන් මේකට මැදිහත් වෙලා ඔවුන්ගේ ස්වාධීන කණ්ඩායමක් තුළින් මේ සම්බන්ධව පරීක්‍ෂණ පවත්වන්න. අපි කිසිසේත්ම සූදානම් නැහැ ඒ වෛද්‍යවරයා වරදක් කරලා තියෙනවා නම් ඔහුව රකින්න“.

    පාස්කු ඉරිදා ප්‍රහාරය පිළිබඳ සෙවීම සඳහා පත් කෙරුණු ත්‍රී පුද්ගල කොමිසමේ වාර්තාව, පාර්ලිමේන්තුවට සහ ජනතාව වෙත කඩිනමින් ලැබීමට සලස්වන ලෙස ද නලින් බණ්ඩාර මහතා ජනාධිපතිතුමාගෙන් ඉල්ලා සිටී.

    “මේ සම්බන්ධව ජනාධිපතිතුමා ත්‍රී පුද්ගල කොමිසමක් පත්කරලා තියෙනවා. අපි ඉතාම උනන්දුවෙන් බලාගෙන ඉන්නවා මේ කොමිසමේ වාර්තාව ඉතාමත්ම කඩිනමින් ලැබෙන තුරු. ඒ තුළින් තමයි අපිට බලාගන්න පුලුවන් වෙන්නේ සෘජුවම මේ ප්‍රහාරය වළක්වාගන්න තිබුණ එකක් නම්, ඒකට වගකිව යුත්තෝ කවුරුද කියන කාරණය. අපි ජනාධිපතිතුමාගෙනුත් ඉල්ලා සිටිනවා ඉතාම කඩිනමින් මේ වාර්තාව අපට, රටට, ජනතාවට, පාර්ලිමේන්තුවට ලැබෙන්න සලස්වන්න“ යැයි නලින් බණ්ඩාර නියෝජ්‍ය අමාත්‍යවරයා පැවසීය.

    Latest News