ආණ්ඩුව ඉදිරියට යායුතු ආකාරය ගැන ආරලියගහ මැදුරේ සාකච්ජාවක්

මැයි 29, 2019

    පාස්කු ප්‍රහාරයෙන් පසු ජන ජීවිතය හා ආර්ථිකය සාමාන්‍ය තත්ත්වයට පත්වෙමින් ඇති බැවින් සංචාරක කර්මාන්තය යළි නගා සිටවිය යුතුයැයි  අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. 

    ජර්මනිය ඇතුලූ රටවල් ගණනාවක් ශ්‍රී ලංකාවේ සංචාරය කිරිමට පනවා තිබූ තහනම ඉවත් කර ඇති බැවින් අනුව සංචාරක ව්‍යාපාරය ගොඩනැගීම තවත් වේගවත් වනු ඇති බව ඔහු අද (29) අරලියගහ මන්දිරයේ දී පැවසීය.

    රටේ සංවර්ධන ක්‍රියාවලිය කඩාකප්පල් කිරීමට ඇතැම් පාර්ශ්ව උත්සාහ කළත්, ඒ සියලූ උත්සාහයන් පරාජය කොට සංවර්ධන ක්‍රියාවලිය ඉදිරියට ගෙන යාමට සියලූ පාර්ලිමේන්තු, පළාත් සභා සහ පළාත් පාලන ආයතනවල මහජන නියෝජිතයින් පියවර ගත යුතු බව වික්‍රමසිංහ මහතා අවධාරණය කළේය.

    අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මෙම අදහස් පළ කළේ ආණ්ඩුව ඉදිරියට ක්‍රියාත්මක විය යුතු ආකාරය පිළිබඳව පාර්ලිමේන්තු මන්ත්‍රීවරු පිරිසක් සමග අද (29) පෙරවරුවේ අරලියගහ මන්දිරයේ පැවැති සාකච්ඡාවකදීය.


    “ ආණ්ඩුව ඉදිරියට ක්‍රියාත්මක විය යුතු ආකාරය පිළිබඳව අද විශේෂයෙන් සාකච්ඡා කළා. අප්‍රේල් 21 සිට මේ දක්වා අප ගත් තීන්දු තීරණ නිසා මාසයක් ගත වීමටත් පෙර අයි. එස්. අයි. එස්. ත්‍රස්තවාදීන් අත්අඩංගුවට ගැනීමට ආරක්‍ෂක අංශවලට හැකි වුණා. මෙලෙස ඉතා කෙටි කාලයක් තුළ අයි. එස්. අයි. එස්. ත්‍රස්තවාදීන් අත්අඩංගුවට ගැනීම් ලෝකයේම සිදුවී තිබෙන්නේ කිහිපයක් පමණයි.

    පාස්කු ප්‍රහාරය නිසා විශාල බලපෑමක් ඇති වූ අංශ පිළිබඳව අප අවධානය යොමු කර තිබෙනවා. මේ ප්‍රහාරයෙන් විශාල බලපෑමක් සිදු වී තිබෙන්නේ සංචාරක ව්‍යාපාරයටයි. පාස්කු ප්‍රහාරයත් සමග ශ්‍රී ලංකාවේ සංචාරය කිරීම අවදානම් බවට සඳහන් කරමින් විදෙස් රටවල් ගණනාවක් ශ්‍රී ලංකාවට සංචාරක තහනමක් පනවා තිබුණා. නමුත් මේ වන විට ඉන්දියාව, චීනය, ස්විට්සර්ලන්තය වැනි රටවල් ශ්‍රී ලංකාවට පනවා තිබූ සංචාරක තහනම ඉවත් කොට තිබෙනවා. තවත් රටවල් කිහිපයක් ශ්‍රී ලංකාවේ සංචාරය කිරීමේ දී අනුගමනය කළ යුතු පියවර කිහිපයක් සම්බන්ධයෙන් ජනතාව දැනුවත් කිරීමට කටයුතු කරමින් ශ්‍රී ලංකාවේ සංචාරය කිරීමේ තහනම ඉවත් කර තිබෙනවා. එමෙන්ම ශ්‍රී ලංකාවේ සංචාරය කිරීම සම්බන්ධයෙන් තවත් රටවල් කිහිපයක් පනවා තිබූ සංචාරක තහනම ඉවත් කිරීමට කඩිනමින් කටයුතු කරනු ඇතැයි අපි බලාපොරොත්තු වෙනවා.

    ලබන අගෝස්තු මාසය වන විට ඉන්දියාව, චීනය සහ යුරෝපය ඇතුලූ රටවලින් සංචාරකයින් වැඩි වශයෙන් ගෙන්වා ගැනීමට විශේෂ වැඩපිළිවෙළක් ඊයේ දින රැස්වූ කැබිනට් මණ්ඩලය ක්‍රියාත්මක කළා. අප මේ වන විට රටේ සාමාන්‍ය තත්ත්වය පවත්වා ගෙන යන අතර සියලූ පාර්ලිමේන්තු, පළාත් සභා සහ පළාත් පාලන ආයතන නියෝජනය කරන මන්ත්‍රීවරු සියලූ දෙනා එකට එකතු වී රටේ සංවර්ධන ක්‍රියාවලිය ඉදිරියට ගෙන යාමට ක්‍රියා කරමු.

    මේ සංවර්ධන ක්‍රියාවලිය කඩාකප්පල් කිරීමට ඇතැම් පාර්ශ්ව උත්සාහ කරාවි. නමුත් එම කඩාකප්පල්කාරී උත්සාහයන් පරාජය කර අපේ සංවර්ධන ක්‍රියාවලිය ඉදිරියට ගෙන යමු යැයි ප්‍රකාශ කරන්න කැමතියි. මේ දැන් ජර්මනියෙන් විශේෂ පණිවුඩයක් ලැබී තිබෙනවා. ඒ, ශ්‍රී ලංකාවේ සංචාරය කිරීමට ජර්මනිය විසින් පනවා තිබූ තහනම ඉවත් කිරීම පිළිබඳවයි. ඒ අනුව මේ වන විට චීනය, ඉන්දියාව, ස්විට්සර්ලන්තය සහ ජර්මනිය පනවා තිබූ ශ්‍රී ලංකාවේ සංචාරය කිරීමේ තහනම ඉවත් කර තිබෙනවා. ඉදිරි සති කිහිපය තුළ තවත් බොහෝ රටවල් සංඛ්‍යාවක් මෙම තහනම ඉවත් කරනු ඇති බවට කිසිඳු සැකයක් නැහැ“ යැයි අග්‍රාමාත්‍යවරයා සඳහන් කළේය.

    Last modified on බදාදා, 29 මැයි 2019 18:39

    Latest News