තායිලන්ත මහානායක හිමි ඇතුළු දූත පිරිස ජනපති හමුවෙයි

මැයි 26, 2019

    ශ‍්‍රී ලංකාවට වැඩම කර සිටින තායිලන්ත මහානායක හිමිවරුන් ඇතුළු බෞද්ධ දූත පිරිස ඊයේ (25) පස්වරුවේ ජනාධිපති නිල නිවසේ දී ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා හමු විය.

    පාස්කු ඉරිදා ත‍්‍රස්ත ප‍්‍රහාරයට මුහුණ දෙමින් යළි නැගී සිටින ශී‍්‍ර ලංකාව පිළිබඳ තම සතුට පළ කළ දූත පිරිස, සහෝදර බෞද්ධ රටක් ලෙස හැමවිටම තමන් ශී‍්‍ර ලංකාව සමග සිටින බව සඳහන් කළහ. උන්වහන්සේලාගේ වැඩම කිරීම පිළිබඳ සිය සතුට පළ කළ ජනාධිපතිතුමා බෞද්ධ රටවල් ලෙස ශ‍්‍රී ලංකාව සහ තායිලන්තය අතර ඇති දිගු කාලීන සමීප සබඳතාවය ද මෙහි දී සිහිපත් කළේය.

    Phra Bhawanakhemakhun wat Maheyong හිමියන්ගේ ප‍්‍රධානත්වයෙන්, තායිලන්ත මහානායක හිමිවරුන් ඇතුළු 70 දෙනෙකුගෙන් සමන්විත දූත පිරිස පසුගිය 21 වනදා ශ‍්‍රී ලංකාවට පැමිණි අතර පසුගිය දින කිහිපයේ දිවයිනේ ප‍්‍රදේශ ගණනාවක සංචාරය කරමින් වෙසක් සැමරුම් දැක බලා ගැනීමට ද එක් විය.

    එමෙන්ම නැගෙනහිර පළාතේ විහාරස්ථාන රැසකට බුද්ධ ප‍්‍රතිමා වහන්සේ පූජා කිරීමට ද මෙම දූත පිරිස කටයුතු කළහ. තායි බෞද්ධ දූත පිරිස සහ ජනාධිපතිතුමා අතර හමුවට තායි ශී‍්‍ර ලංකා බෞද්ධ සංස්කෘතික මධ්‍යස්ථානයේ විහාරාධිති පූජ්‍ය රාස්සගල සීවලි නායක හිමිපාණන් වහන්සේ ද වැඩම කර සිටියහ.

    Latest News