දෛනික හා පාසල් කටයුතු නොපැකිලිව සිදු කරන්න...කථානායක

මැයි 20, 2019

    පවතින සාමකාමී වතාවරණය තවදුරටත් ඉදිරියටත් ගෙන යමින් සුපුරුදු දෛනික කටයුතු සහ පාසල් අධ්‍යයන කටයුතු නොපැකිලිව සිදු කරන ලෙස කථානායක කරූ ජයසුරිය මහතා ඉල්ලීමක් කරයි.

    ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ ආංශික අධීක්ෂණ කාරක සභා නියෝජනය කරන බහුතර මෛත්‍රීවරුන් වෙනුවෙන් නිවේදනයක් නිකුත් කරමින් කථානායකවරයා මේ බව ප්‍රකාශ කර තිබේ.
    ගෙවීගිය ඉතිහාසයේ අප අත්දුටු අඳුරුතම දිනයක් වන අප්‍රේල් 21 පාස්කු ඉරිදා දින සිට වෙසක් පුර පසළොස්වක පොහොය දිනය උදාවන තුරුම රට පුරා පැතිරිගිය භීතිය පතුරුවන සුළු ප්‍රචාරයන් මුළුමනින්ම අසත්‍ය බවත් ඒ පසුබිමෙයි ඇතැම් කඩාකප්පල්කාරී බලවේග ක්‍රියාතමක වී ඇති බවත් බුද්ධිමත් ජනතාව මේ වන විට අවබෝධ කරගෙන තිබේ.

    එමෙන්ම, රට තුළ ජාතිවාදී ගිනිදැල් පතුරුවමින් සහ අහිංසක මුස්ලිම් ජනතාවට පීඩා කරමින් ඔවුන්ගේ දේපළ වනසමින් ක්‍රියාත්මක කළ ප්‍රචණ්ඩත්වය ද ඉහත කී කඩාකප්පල්කාරී ක්‍රියාදාමයේම තවත් දිගුවක් බව පැහැදිලිය. මේ තුළින් සිදුවූ දේපල විනාශයටත් වඩා ත්‍රස්ත ප්‍රහාරය හමුවේ ශිෂ්ඨ සම්පන්න සමාජයක් ලෙස ක්‍රියාකළ සමස්ත ශ්‍රී ලාංකිකයන්ගේ කීර්ති නාමයට විශේෂයෙන්ම බෞද්ධ ජනතාවගේ ගෞරවයත් සිදුවූ හානිය බරපතලය.
    පාස්කු ඉරුදින ප්‍රහාරය පසුබිමෙහි ක්‍රියාත්මක වූ ත්‍රස්තවාදී ව්‍යාපාරය සියයට අනූපහක් විනාශ කර හෝ අත්අඩංගුවට ගෙන ඇති බව ත්‍රිවිධ හමුදාව හා පොලීසියත් එම බුද්ධි අංශ විසින් තහවුරු කර ඇත. කෙසේ වුවද බියගන්වන සුළු අසත්‍ය ප්‍රකාශ නොතකා මෙවර වෙසක් උත්සවය කිසිඳු බාධාවකින් තොරව සුපුරුදු පරිදි විශාල ජනතා උනන්දුවකින් යුතුව සැමරීම පිළිබඳ අප සතුටු වෙමු. එම තත්වය තවදුරටත් ඉදිරියට ගෙනයමින් සුපුරුදු දෛනික කටයුතු හා දරුවන්ගේ පාසල් අධ්‍යාපන කටයුතු නොපැකිලිව සිදුකරන ලෙස ඉල්ලා සිටිමු.

    මෙවර වෙසක් උත්සවයේ දී ඉස්මතු වන විශේෂිතම තත්වය නම් කතෝලික, ක්‍රිස්තියානි හා මුස්ලිම් ප්‍රජාව අමිහිරි මතකයන් යටපත් කර වෙසක් සැමරුමට දායක වූ අන්දමයි. එය අප නිරන්තරයෙන් ප්‍රාර්ථනා කරන සාමය සෞභාග්‍ය පිරි දේශක සිහිනය සැබෑවන බවට පෙර නිමිත්තකි.

    පාස්කු ඉරිදා දින සිට වෙසක් පුර පසලොස්වක පොහොය දිනය දක්වාම පැතිර ගිය භීතිය පතුරවන සුළු ප්‍රචාරයන් මුළුමනින්ම අසත්‍ය බවට මේ වනවිට ජනතාව අවබෝධ කර ගෙන ඇති බව කථානායකවරයා පෙන්වා දෙයි. එමෙන්ම මුස්ලිම් ජනතාවට පීඩාවට පත් කරමින් ඔවුන්ගේ දේපල විනාශයට පත් කරමින් ක්‍රියාත්මක කළ ප්‍රචණ්ඩත්වයද කඩාකප්පල්කාරී ක්‍රියාදාමයේ තවත් දිගුවක් බව කථානායකවරයා සඳහන් කළේය.

    මෙම සිදු වු ප්‍රහාරයන් හේතුවෙන් ශ්‍රී ලාංකිකයන්ගේ කීර්ති නාමයන්ටද විශේෂයෙන්ම බෞද්ධ ජනතාවගේ ගෞරවයටත් හානි සිදු ව ඇති බව කථානායකවරයා අදාළ ලිපිය මඟින් සඳහන් කර තිබේ. මෙවර වෙසක් උත්සවයේදි ඉස්මතු වු සහෝදරත්වයේ බැඳිම, ගෞරවය සහ අන්නෝන්‍ය විශ්වාසය බිඳ දැමීමට කිසිඳු බලවේගයකට ඉඩ නොතැබිය යුතු බව කථානායකවරයා සඳහන් කරයි.

    වර්ථමානය වන විට ඇති වු ගැටළුකාරී තත්වයන් සඳහා ස්ථිර ලෙස ගැටළු නිරාකරණය කර ගැනීමට වැදගත් පියවරයන් රැසක් පාර්ලිමේන්තුව තුළ සාකච්ඡාවට ලක් වී ඇති බව කථානායක කරූ ජයසුරිය මහතා අදාළ නිවේදනය මඟින් වැඩිදුරටත් පෙන්වා දී තිබේ. මෙම සහෝදරත්වයේ බැඳීම, ගෞරවය හා අන්නෝන්‍ය විශ්වාසය බිඳ දැමීමට කිසිඳු බලවේගයකට ඉඩ නොතබමු. අප මාතෘභූමියට සහ එහි අනාගතය භාරගන්නා දූදරුවන්ට ආදරය කරන කිසිඳු බුද්ධිමත් පුරවැසියෙකුට කවරාකාර හෝ අන්තවාදී දේශද්‍රෝහී බලවේගයකට සවන්දිය හැකිදැයි සිතා බලන ලෙස ඉල්ලා සිටිමු.

    එවන් බලවේගයන්ට මතවාදීමය වශයෙන් හෝ උත්තේජනයක් ලබාදීම ඔබගේ දෛනික ජීවිතය අවුල් කරනු ඇත. රටේ ආර්ථිකය මෙන්ම එයට මූලික පදනමක් සපයන සංචාරක ව්‍යාපාරයේ ප්‍රතිලාභ සහ විදෙස් අයෝජන අහිමි කරනු ඇති. නැවතත් ගොඩ ආ නොහැකි ප්‍රපාතයකට අප මාතෘභූමිය ඇඳ දමනු ඇත. අද වන විට ඇතිවූ ගැටළු ස්ථීරසාර ලෙස නිරාකරණය කර ගැනීමට වැදගත් පියවර රැසක් පාර්ලිමේන්තුවෙන් ගනිමින් පවතී. මුස්ලිම් ආගමික කටයුතු අමාත්‍යාංශය, අධිකරණ අමාත්‍යාංශය, උසස් අධ්‍යාපන අමාත්‍යාංශය, නීතිය හා සාමය ආදී අමාත්‍යාංශ සහ ඊට

    අදාළ පාර්ලිමේන්තුවේ ආංශික කාරක සභා විසින් අවශ්‍ය නීතිරීති සම්පාදනය කරමින් සිටි.
    ඒ සඳහා පාර්ලිමේන්තුවේ පූර්ණ සහය අඛණ්ඩව ලැබෙනු ඇති බවට සහතික වෙමු. විශේෂයෙන්ම මෙම නීති සම්පාදන ක්‍රියාදාමයන්හි දී ඉස්ලාම් ආගමික නායකයන්ගෙන් සහ ජන නායකයන්ගෙන් ලැබෙමින් තිබෙන එකඟත්ය තුළින් විද්‍යාමාන වන්නේ කිසිඳු විටෙක මූලධර්මවාදයට අප දේශන තුළ ඉඩ නොමැති බවයි. ඉහත කී සියළු තත්වයන් සැලකිල්ලට ගෙන අතිගරු ජනාධිපතිතුමන්, ගරු අග්‍රාමාත්‍යතුමන් හා ගරු විපක්ෂ නායකතුමන් එක්ව රට යථාතත්වයට පත්වෙමින් තිබෙන බවටත් කවර දේශපාලන අදහස් නියෝජනය කළ ද අප මාතෘභූමිය මුහුණ දෙන මෙවන් අර්බුදවල දී එක්සත්ව මුහුණදීමට සූදානම් බවටත් පාර්ලිමේන්තුව හරහා ප්‍රකාශ කරමින් ජනතාවට සහතිවන වන ලෙස අප ගෞරවයෙන් ඉල්ලා සිටිමු.

    Last modified on සදුදා, 20 මැයි 2019 09:48

    Latest News