ඉපැරණි විහාරස්ථාන සංරක්‍ෂණය කර මතු පරපුරට දායාද කිරීම ජාතික වගකීමක්;අමාත්‍ය සජිත්

මැයි 19, 2019

    මෙරට ඉපැරණි විහාරස්ථාන සංරක්ෂණය කර රැක ගනිමින් ඒවා මතු පරපුරට දායාද කිරීම අපගේ ජාතික වගකීමක් හා යුගයේ අවශ්‍යතාවක් බව අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

    ‘බුදු දහම අනතුරේ, එය විනාශයි’ කියමින් මෙරට ජනතාව බිය ගන්වා ඇතැම් පිරිස් බුදුදහම උපයෝගී කර ගනිමින් පුද්ගලික දේශපාලන අරමුණු ඉටුකර ගැනීමට කටයුතු කරන බවද අමාත්‍යවරයා සඳහන් කළේය. බුදුදහම පිළිබඳව අද අභිමානයෙන් කතා කරන පිරිස එදා බලයේ සිටියදී ආගමික සිද්ධස්ථාන හා පුරාවිද්‍යාස්ථාන සංරක්ෂණය කිරීම කෙරෙහි අවධානය යොමු නොකළ බවත්, ඔවුන් එදා පුරාවිද්‍යා ස්ථාන නිධන් හොරුන්ට විනාශ කරන්නට අවස්ථාව සලසා දුන් බවත් අමාත්‍යවරයා පැවසීය.

    ඇතැම් දේශපාලඥයින් බලයට ඇති කෑදරකම නිසා පුහු ජාතිකත්වයක් හා පුහු දේශප්‍රේමීත්වයක් නිර්මාණය කර ගනිමින් අන්‍ය ආගමික සිද්ධස්ථාන විනාශ කර රට ගිනි තැබීමට කටයුතු කරන බවද මෙහිදී අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය. අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේ හම්බන්තොට, තිස්සමහාරාම, කච්චේරියගම, වෙහෙරගොඩැල්ල ඉපැරණි චෛත්‍යයේ කැණීම් හා සංරක්ෂණ කටයුතු ආරම්භ කිරීමේ අවස්ථාවට අද (19) දින සහභාගී වෙමිණි.

    වෙහෙරගොඩැල්ල පුරාවිද්‍යා ස්මාරක භූමිය තුළ මෙම ඉපැරණි චෛත්‍යය පිහිටා ඇති අතර පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව මඟින් මෙහි කැණීම් කටයුතු සිදු කරනු ලබයි. මධ්‍යම සංස්කෘතික අරමුදලේ ප්‍රතිපාදන මත මෙහි පළමු අදියර සඳහා වෙන්කර ඇති මුදල රුපියල් ලක්ෂ 108 කි. තිස්සමහාරාම රජමහා විහාරස්ථානයේ තීන්ත ආලේප කිරීම සඳහා වැය වන රුපියල් 936,000/= ක මූල්‍යධාර අමාත්‍යංශ ප්‍රතිපාදන මත තිස්සමහාරාම සඳගිරි උභය විහාරාධිපති ආචාර්ය පූජ්‍ය දේවාලේගම ධම්මසේන නාහිමියන් වෙත ප්‍රදානය කිරීමද අමාත්‍යවරයා අතින් මෙහිදී සිදුකෙරිණ. මෙම අවස්ථාවට රාජ්‍ය නිලධාරීන් සහ ප්‍රදේශවාසීන් ඇතුළු විශාල පිරිසක් සහභාගී වී සිටියහ.

    Latest News