ත්‍රස්තවාදින්ට උදව් කළ මන්ත්‍රි අත්අඩංගුවට

මැයි 16, 2019

    පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයට සම්බන්ධ මොහොමඩ් රිස්වාන් නමැත්තා බස්නාහිර පළාත් බුද්ධි කොට්ඨාසය විසින් ඊයේ අත්අඩංගුවට ගෙන තිබේ.

    පොලිසිය පවසන්නේ, ප්‍රහාරය සම්බන්ධ තොරතුරු රැසක් ඔහුගෙන් හෙලිකර ගැනීමට හැකිවනු ඇති බවයි. ආරක්‍ෂක අමාතයාංශ මාධ්‍ය කේන්ද්‍රයේ අද (16) පැවති මාධ්‍ය හමුවේදී මේ බව ප්‍රකාශ කෙරිණ.

    එහිදී අදහස් දැක්වූ පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා...
    “මොහොමඩ් රිස්වාන් නමැති මේ පුද්ගලයාව අත් අඩංගුවට ගත්තේ බස්නාහිර පළාත් බුද්ධි කොට්ඨාසයේ නිලධාරීන්ට ලැබුණු තොරතුරක් මතයි. මේ සැකකරු මාබෝල වත්තල ප්‍රදේශයේ පදිංචිකරුවෙක්. මේ සැකකරුගේ බාරයේ තිබිලා විදේශ ගමන් බලපත්‍ර කිහිපයක්ම සොයා ගෙන තිබෙනවා. මේ වනවිට ඔහු රඳවා තබාගෙන විමර්ශන කටයුතු සිදුවෙනවා“.

    පසුගිය දිනවල ඇති වූ ප්‍රචණ්ඩ ක්‍රියාවන්ට සම්බන්ධ පුද්ගලයින්ට පොලිසියට හෝ අධිකරණය වෙත බාරවන ලෙස ද පොලිසිය දැනුම් දෙනවා.

    “මේවාට සම්බන්ධ වූ පුද්ගලයින් පිළිබඳව සෙවීම සඳහා සැලසුම් කරන ලද තැනැත්තන් පිළිබඳව සොයා බැලිම සඳහා බුද්ධි අංශ නිලධාරීන් පවා යොදවලා තිබෙන්නේ. මේ ප්‍රචණ්ඩ ක්‍රියාවලට සම්බන්ධ වෙලා මේ වෙද්දි පොලිසිය විසින් අත්අඩංගුවට ගැනීමට සොයන ඒ සැකකරුවන්ට හැකියාව තිබෙනවා පොලිසිවලට, ඒ අදාළ ගරු අධිකරණවලට බාරවීමටත් හැකියාව තිබෙනවා“.

    මේ වනවිට සාමකාමී පරිසරයක් පවතින බැවින් කිසිදු ප්‍රදේශයකට අද පොලිස් ඇඳිරි නීතිය ක්‍රියාත්මක නොකරන බව ද, සඳහන් කෙරිණ.

    “ප්‍රචණ්ඩකාරී ක්‍රියාවල නිරත වුණු, නිරතවෙන මේ අවස්ථාවාදීන්ට ප්‍රකාශ කරන්න කැමතියි ඇඳිරි නීතිය අපි පනවන්නේ නැත්තේ, බහුතරයක් වූ සාමකාමී ජනතාව ගැන හිතලා බලලා, නමුත් ත්‍රිවිධ හමුදාව, පොලිසිය ආරක්‍ෂාව සඳහා උපරිම නිලධාරින් යොදවලා තියෙනවා. ඒ නිසා පොලිස් ඇඳරි නීතිය නොපැණවීම පිළිබඳව ලිහිල්ව හිතන්න එපා කියලා මේ අවස්ථාවාදීන්ට දැනුම් දෙන්න කැමතියි“.

    වෙසක් උත්සවය නිමිත්තෙන් විශේෂ ආරක්‍ෂක වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට ද පියවර ගෙන තිබෙන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය.

    “මේ වෙසක් දින කිහිපය තුළදී ප්‍රජා පොලිස් කමිටු සම්බන්ධ කරගෙන වෙසක් උත්සවය වෙනුවෙන් ආගමික කටයුතු සංවිධානය කරන්න කියලා සෑම පොලිස් ස්ථානයකටම පොලිස් මූලස්ථානය විසින් උපදෙස් දීලා තිබෙනවා“ යැයි රුවන් ගුණසේකර මහතා මෙහිදී සඳහන් කර සිටියේය.

    ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් කපිල ජයම්පති මහතා ද වත්මන් ආරක්‍ෂක තත්වය පිළිබඳව අදහස් පළ කළේය.

    “ගුවන් හමුදාව රටේ පාසල්වල ආරක්‍ෂාව සඳහාත්, ආගමික ස්ථානවල ආගම් භේදයකින් තොරව ඒ සියළුම සිද්ධස්ථානවලට ත්‍රිවිධ හමුදාව අනෙක් හමුදාවන් සමඟ එකට එක්වී රටේ ආරක්‍ෂාව තහවුරු කරලා තියෙනවා. ඉතිං මම ඉල්ලා සිටිනවා මේ අවස්ථාවේදී දෙමාපියන්ගෙන් පාසල්වලට දරුවන් යැවීමට පැකිලෙන්න එපා. අපි අනිවාර්්‍යයෙන්ම පාසල්වලට අවශ්‍ය ආරක්‍ෂාව තහවුරු කරලා තියෙනවා. නීතිය ක්‍රියාත්මක කරන්න කිසිසේත්ම පසුබටවන්නේ නැහැ. දැඩි ලෙස නීතිය ක්‍රියාත්මක කරනවා. රටේ සාමය ඇති කිරීම පිණිස ආගම් භේදයකින් තොරව, ජාති භේදයකින් තොරව එක ජාතියක් හැටියට අපි නැගී සිටින්න කටයුතු කරමු කියන ඉල්ලීම කරන්න මම කැමතියි“ ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් කපිල ජයම්පති මහතා පැවසීය.

    Last modified on බ්‍රහස්පතින්දා, 16 මැයි 2019 20:38

    Latest News