වයඹ ප්‍රචණ්ඩ ක්‍රියා සංවිධානාත්මකයි.....රජය බුද්ධි අංශ අඩපණ කළේ නෑ..

මැයි 16, 2019

    බුද්ධි අංශ නිලධාරීන් අත්අඩංගුවට ගැනීම පාස්කු ඉරිදා ප්‍රහාරයට හේතු වූ බවට ඇතැමුන් නගන චෝදනා ප්‍රතික්ෂේප කරන බවත්, වයඹ පළාතේ සිදු වූ ප්‍රචණ්ඩ ක්‍රියා සංවිධානාත්මකව සිදුකර ඇති බවට තොරතුරු ලැබී ඇති බවත්  අමාත්‍ය රාජිත සේනාරත්න මහතා ප්‍රකාශ කරයි.

    බේරුවල ප්‍රාදේශීය සංවර්ධන කමිටු රැස්වීමට අද (16) පෙරවරුවේ එක්වෙමින් සෞඛ්‍ය අමාත්‍යවරයා මේ බව පැවැසීය. බේරුවල ප්‍රාදේශීය ලේකම් කාර්යාල ශ්‍රවණාගාරයේ දී මෙම රැස්වීම පැවැත්විණ.  

    පාස්කු ඉරිදා එල්ල වූ බෝම්බ ප්‍රහාරයත් සමග ජාතික සමගිය විනාශ කිරීමට ඇතැම් අන්තවාදී කණ්ඩායම් කටයුතු කරමින් සිටිනවා. වයඹ පළාත පුරා පසුගිය දිනවල සිදු වූ සිද්ධීන් පිටුපස ද විවිධ බලවේග ඉන්නවා. නමුත් කළුතර දිස්ත්‍රික්කයේ කිසිදු සිද්ධියක් වාර්තා නොවන අයුරින් පාලනය කිරීමට ආරක්ෂක අංශ වලට හැකියාව ලැබුනා. නමුත් විවිධ කටකතා පැතිරෙනවා. අළුත්ගම දර්ග නගරයේ මීට පෙර සිදු වූ සිද්ධියට ද මෙම පළාතේ ජනතාව සම්බන්ධ නැහැ. වෙනත් ප්‍රදේශවල සිට පැමිණි ජනතාව තමයි ප්‍රචණ්ඩ ක්‍රියා සිදු කළේ. කළුතර දිස්ත්‍රික්කයේ ජනතාව සාමාන්‍ය පරිදි කටයුතු කරනවා. බෝම්බ ප්‍රහාර එල්ලවීමත් සමග දිස්ත්‍රික්කයේ ආරක්ෂාව තර කෙරුනා. බේරුවල පිහිටි මගේ නිවස ආසන්නයේ නිවසක් කුලියට ගැනීමට පැමිණි පුද්ගලයෙකු පිළිබදව මුස්ලිම් ජාතික මිතුරෙක් මට දැනුම් දුන්නා. ඒ පිළිබදව පරික්ෂණ පවත්වන ලෙස පොලීසියට දැනුම් දුන් අතර, ඉන් පසු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් පරික්ෂණ ආරම්භ කළා.

    බේරුවල ප්‍රදේශයෙන් ද අන්තවාදි කණ්ඩායම්වලට සම්බන්ධ පුද්ගලයින් සැකපිට අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලීසිය කළ විශිෂ්ට කාර්යභාරය මම අගය කරනවා. කිසිදු සිද්ධියක් ඇති නොවන අයුරින් ආරක්ෂක අංශ කටයුතු කළා. නමුත් ඇතැම් පුද්ගලයින්ට ප්‍රචණ්ඩ ක්‍රියා ඇති කිරීමට අවශ්‍ය වුනා. ප්‍රචණ්ඩ ක්‍රියාවල ආදීනව ඔවුන් දන්නේ නැහැ. ඇතැම් ව්‍යාජ සිද්ධීන් ඇති කිරීමටත් උත්සාහ කළා. නොයෙකුත් සිද්ධීන් වලින් ජනතාවගේ විශ්වාසය බිද දැමීමට උත්සාහ කළා. අපි ත්‍රස්තවාදයට විරුද්ධව කටයුතු කළ යුතුයි. 1971 වසරේ සිට විවිධ අවස්ථා වල දී රට තුල ත්‍රස්තවාදය ඉස්මතු වුනා. ත්‍රස්තවාදය යනු ත්‍රස්තවාදයයි. ඉන් ජනතාව පීඩා විදිනවා. උතුරේ මෙන්ම දකුණේ ක්‍රියාත්මක වූ ත්‍රස්තවාදය  ද මුලිනුපුටා දැමීමට අපි කටයුතු කළා. නමුත් වරින් වර ත්‍රස්තවාදය හිස ඔසවනවා. මුස්ලිම් අන්තවාදයට විරුද්ධව ද දැඩි ලෙස ක්‍රියා කළ  යුතුයි. අන්තවාදීන් බිහිවීමට යම් යම් දුර්වලතා ද බලපෑවා. ලැබී තිබු බුද්ධි අංශ වාර්තා වලට අනුව රජය සහ ආරක්ෂක අංශ ක්‍රියාත්මක නොවීම ගැටලුවක්. එමගින් විශාල විනාශයක් සිදු වුනා.

     “ඇතැම් පුද්ගලයින් ආරක්ෂක අංශ දුර්වලවීමක් ලෙස මෙය හුවා දක්වන්න උත්සාහ කළා. බුද්ධි අංශ නිලධාරින් අත්අඩංගුවට ගැනීම ද හේතුවක් බව ඇතැම් පිරිස් ප්‍රකාශ කළා. ත්‍රිවිධ හමුදාවට සහ පොලීසියට අනුයුක්තව බුද්ධි අංශ නිලධාරීන් 12,000 ක් දිවයින පුරා සේවය කරනවා. ඔවුන්ගෙන් 10 ක් පමණ අත්අඩංගුවට ගෙන ඇති. ඒ ආරක්ෂක හේතු මත නොවෙයි. දරුවන් පැහැරගෙනයාම, ජනමාධ්‍යවේදීන් ඝාතනය කිරිම සහ අතුරුදන් කිරීම, පහරදීම වැනි සිද්ධීන් සම්බන්ධයෙන් දරුවන් 11 ක් පැහැරගෙනයාමේ සිද්ධියක පැමිණිලිකරුවන්නේ හිටපු නාවික හමුදාපතිවරයෙක්. පසුගිය රජය සමයේ පැමිණිලි කළත් විභාග නොකළ නිසා වත්මන් රජය එම පැමිණිල්ල විභාග කළා. එම නිසා බුද්ධි අංශ අඩපන කළා කියලා කාටවත් කියන්න බැහැ. කිසිම රණවිරුවෙකු මිනීමරුවෙක් වෙන්න බැහැ කියලා වත්මන් යුද හමුදාපතිවරයා මෙන්ම හිටපු යුධහමුදාපති සරත් ෆොන්සේකා මහතා ද ප්‍රකාශ කළා. වයඹ ප්‍රදේශයේ පසුගිය දිනවල සිදු වූ ප්‍රචණ්ඩ සිද්ධීන් පිටිපස සිටි අය දැන් හෙළි වෙනවා. සංවිධානාත්මක පිරිසක් තමයි මෙම ප්‍රචණ්ඩ ක්‍රියා සිදු කළේ. ආරක්ෂක අංශ සාමාජිකයින් ද සිටින රූපරාමු ලැබී ඇති බැවින් ඒ පිළිබදව ද පරීක්ෂා කරනවා.

    බේරුවල ආසනයේ ආරක්ෂක කටයුතු විධිමත්ව සිදු වෙනවා. සැක කටයුතු ඕනෑම පුද්ගලයෙකු අත්අඩංගුවට ගන්නා ලෙස මම පොලීසියට උපදෙස් ලබාදුන්නා. ත්‍රස්තවාදය නිමා කිරීමට එය ඉතා වැදගත්. මම සාමාන්‍යයෙන් පොලීසියට බලපෑම් කරන්නේ නැහැ. නීතිය ක්‍රියාත්මක කිරීමට පොලීසියට අවස්ථාව ලබාදිය යුතුයි. ත්‍රස්තවාදීන් සමග ගනුදෙනු කරන්නෙත් නැහැ. ත්‍රස්තවාදය මුලිනුපුටා දැමිය යුතුයි. ත්‍රස්තවාදීන් සමග දේශපාලනයක් නැහැ. මම ත්‍රස්තවාදය තුරන් කිරීමට පූර්ණ සහයෝගය ලබාදෙනවා. කොන්දේසි විරහිතව ආරක්ෂක අංශ වලට සහයෝගය ලබාදෙනවා. සියලු ජාතීන් ත්‍රස්තවාදයේ ආදීනව දැනගත යුතුයි. ආරක්ෂක අංශ බයක් සැකක් නොමැතිව කටයුතු කරන්න. ආරක්ෂක අංශ ඉටු කරන කාර්යභාරය ප්‍රශංසනීයයි.

    Last modified on බ්‍රහස්පතින්දා, 16 මැයි 2019 15:40

    Latest News