පා.ම. මහින්දානන්දගෙන් FCIDයට නඩුවක්

මැයි 16, 2019

    පොදු දේපළ පනත යටතේ අත්අඩංගුවට ගැනීමෙන් තමන්ට අපහාසයක් සිදුවූයේ යැයි සඳහන් කරමින් පා.ම. මහින්දානන්ද අලුත්ගමගේ වන්දි ඉල්ලා නඩුවක් ගොනු කර ඇත.

    රක්ෂිත බන්ධනාගාර ගත කිරීමේ චේතනාවෙන් තමන්ව පොදු දේපළ පනත යටතේ අත්අඩංගුවට ගැනීමෙන් සිදු වූ අපහාසය වෙනුවෙන් පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසයේ හිටපු අධ්‍යක්ෂ නියෝජ්‍ය පොලිස්පති රවී වෛද්‍යලංකාර සහ මෙම කොට්ඨාශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක චමින්ද රණසිංහ යන අයගෙන් රුපියල් මිලියන 50 ක් බැගින් වන්දි අය කර දෙන ලෙස ඉල්ලා ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ මහතා විසින් නඩුවක් ගොනු කර තිබේ.

    මෙම නඩුව අද(16) කොළඹ දිසා විනිසුරු අමාලි රණවීර මහත්මිය ඉදිරියේ කැඳවනු ලැබුනු අතර එය මැයි මස 31 වනදා නැවත කැඳවන ලෙස කොළඹ දිසා අධිකරණය නියම කර ඇත.

    එහිදී පැමිණිලි සහ විත්ති පාර්ශවයේ නීතිඥවරුන් විසින් නඩුවට අදාළ පිළිගැනීම් හා විසඳනා සටහන් කරනු ලැබිණි.

    පැමිණිලිකාර මහින්දානන්ද අලුත්ගමගේ මන්ත්‍රීවරයා අධිකරණය හමුවේ කියා සිටින්නේ තමා ක්‍රීඩා අමාත්‍යවරයා වශයෙන් කටයුතු කළ අවධියේ ක්‍රීඩා දෙපාර්තමේන්තුවට කැරම් බෝඩ් සහ දාම් ලෑලි මිල දී ගැනීමේ ක්‍රියාවලියේ දී රජයට රුපියල් මිලියන 39ක පාඩුවක් සිදු කළේ යැයි චෝදනා කරමින් පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශය තමාට එරෙහිව විමර්ශනයක් ආරම්භ කළ බවයි.

    මෙම විමර්ශන කටයුත්ත පොදු දේපල පනතට අදාල නොවන බවට කොළඹ කොටුව එවකට මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනෙවිය විසින් තීන්දු කර තමන්ව රක්ෂිත බන්ධනාගාර ගත නොකොට ඇප මත මුදා හැරිය බව ද ඔහු පවසා ඇත.

    එසේ තිබියදී ඉකුත් වසරේ අප්‍රේල් මස 16 වනදා වගඋත්තරකරුවන් තමාව එම පනත යටතේ අත්අඩංගුවට ගත් බවත් පසුව තමාව කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ බවත් පැමිණිලිකාර අලුත්ගමගේ මන්ත්‍රීවරයා පවසා ඇත.

    මෙම වරද පොදු දේපල පනතට අදාල නොවන බවට අධිකරණය මගින් තීන්දු කර තිබියදී වගඋත්තරකාර පොලිස් නිලධාරීන් තමාව එම පනත යටතේ අත්අඩංගුවට ගනු ලැබුවේ ඇප ලබා නොදී රක්ෂිත බන්ධනාගාර ගත කිරීමේ චේතනාවෙන් බවත් ඒ තුළින් තමන්ට සිදුවූ අපහාසය වෙනුවෙන් එම නිලධාරීන් දෙදෙනාගෙන් රුපියල් මිලියන 50 බැගින් වන්දි අය කර දෙන ලෙස ඉල්ලමින් මහින්දානන්ද අලුත්ගමගේ මන්ත්‍රීවරයා කොළඹ දිසා අධිකරණයේ මෙම නඩුව පවරා තිබේ.

    Latest News